assistant-divisional-secretary-burns-to-death

යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වශයෙන් කටයුතු කළ මස් හයක ගැබිනි මවක් වූ තමිලිනී සතීස් (36) තම නිවසේදී සිදුවූ ගිනි ගැනීමක් හේතුවෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු පෙරේදා (16 වන දින) මිය ගොස් ඇති බව චාවකච්චේරි පොලීසිය වාර්තා කරයි.

මෙම අවාසනාවන්ත සිදුවීම චාවකච්චේරි නිර්වෙලි ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමේදී ඇය මස් හයක ගැබිනියක් වූ බැවින් දරු කළලය බේරා ගැනීමට රෝහල් වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් දැරුවද, මව හා කුස තුළ සිටි දරු කළලය යන දෙදෙනාගේම ජීවිත බේරා ගැනීමට නොහැකි වූ බව රෝහල් වෛද්‍යවරු පවසති.

යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමශිවායම් මහතා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මව සහ දරු කළලය මිය ගොස් ඇත්තේ අධික ලෙස ගිනි රශ්මියට නිරාවරණය වීමෙන් ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයක් හා දැඩි කම්පනයක් හේතුවෙන් බවයි.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා විසින් පොලීසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ බිරිඳ කාමරයක් තුළ ඉටිපන්දමක් හෝ වෙනත් දෙයක් දැල්වීමට ගත් උත්සාහයකදී ඇගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම මරණය සියදිවි හානිකර ගැනීමක්ද, අනතුරක්ද, නැතහොත් ඝාතනයක්ද යන්න තහවුරු කිරීම සඳහා සැමියාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.



ඉදිරිපත් වූ සාක්ෂි මත පදනම්ව යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්. ජෙයබාලන් මහතා විසින් මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස නිගමනය කර ඇත. මෙම තීරණයට එළඹීමට පවුලේ ඇති වූ යම් ආරවුල් තත්ත්වයක් හේතු වී ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා යාපනයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරියෙකු වශයෙන් සේවය කරන අතර, ඔවුන්ට අවුරුදු හයක දියණියක්ද සිටී. අවුරුදු 36ක් වයසැති මෙම නිලධාරිනිය යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචිව සිටි අතර, සිය රාජකාරි කටයුතු දැඩි කැපවීමකින් ඉටු කළ නිලධාරිනියක වශයෙන් ප්‍රදේශවාසී ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නියෝගය පරිදි, ඉදිරියේදී මෘත දේහය යළි ගොඩගැනීමේ අවශ්‍යතාවයක් මතුවුවහොත් ඒ සඳහා පහසුවන පරිදි වෙනම ස්ථානයක මිහිදන් කිරීමට කටයුතු කරන ලෙස ඥාතීන්ට දැනුම් දී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ චාවකච්චේරි පොලීසිය විසින් සිදු කරනු ලබන අතර, විශේෂයෙන් මිය ගිය නිලධාරිනියගේ සැමියාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටින අතර, රාජ්‍ය සේවයේ නියුතු තරුණ නිලධාරිනියක මෙලෙස ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි කම්පාවට පත්ව සිටිති.