
මේ දිනවල ආන්දෝලනයක් ඇතිකර පවතින අලුත්කඩේ සහ මිද්දෙණියේ සිදුවූ ඝාතන ගැන මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අද (21) නිල වහයෙන් හෙළි කළ කරුණු දැක්වීමේ සටහන පහතින්
පසුගිය දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ වෙඩි තැබීම සහ මිද්දෙණියේ සිදුවූ ත්‍රිත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී රජය කරන සවිස්තරාත්මක ප්‍රකාශයක් මේ. මෙම සිද්ධීන් දෙකම සම්බන්ධයෙන් පොලීසිය කඩිනම් විමර්ශන සිදුකර සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, එම විමර්ශන තවදුරටත් සිදුකරමින් පවතී.
පොලිස්පතිවරයාගේ වාර්තාව අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන විමර්ශනවලින් අධිකරණ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු වන දඹහේන පාර, මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් පියුමන් කඳනාරච්චි (27) පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. ඔහු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත කොළ පැහැති ජීව අත්බෝම්බයක් ද සොයාගෙන ඇත.
එමෙන්ම වෙඩි තැබීමට යොදාගත් වාහනයේ රියදුරු ලෙස කටයුතු කළ ගල්ගොඩැල්ල හෙන, මිල්ලෑව පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන (48) ද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු භාවිතා කළ NWP-5293 දරණ වෑන් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, පසුව පරීක්ෂණවලින් හෙළිවූයේ එම අංක තහඩුව ව්‍යාජ එකක් බවයි.
මීට අමතරව සිද්ධියට සම්බන්ධ කටුවැල්ලේගම පාර, මීගමුව පදිංචි ඉෂාරා සෙව්වන්දි වීරසිංහ (25) නම් කාන්තාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරමින් පවතී. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල ද මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බව හෙළිවී ඇති අතර, ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනවලින් තවදුරටත් හෙළිවී ඇත්තේ ප්‍රධාන සැකකරු 2012 වසරේදී යුද හමුදාවේ තුන්වන කමාන්ඩෝ රෙජිමේන්තුවට බැඳී සේවය කර 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉන් ඉවත්ව සිටි බවයි. වෙඩි තැබීමෙන් පසු සැකකරු ඇඳ සිටි ඇඳුම් කොච්චිකඩේ රිදී ඇළ මාර්ගයේ විසි කර ඇති අතර, පොලීසිය එම ඇඳුම් සොයාගෙන තිබේ.
සැකකරුවන් අපරාධයට පෙර කඩුවෙල ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිට ඇති බව ලැගුම්හලේ සීසීටීවී දර්ශන පරීක්ෂාවෙන් හෙළිවී ඇත. එමෙන්ම WPCS-87 අංක දරණ සුදු පැහැති හොන්ඩා ෆිට් රථයක් ද සිද්ධිය සඳහා භාවිතා කර ඇති බව තහවුරු වී තිබේ.
මිද්දෙණියේ සිදුවූ අරුණ ප්‍රියන්ත විදානගමගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් ද ජීවන් ප්‍රසාද් කුමාර, ප්‍රභාත් තුෂාර සහ පොලිස් කොස්තාපල් ජනක ප්‍රසාද් යන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂය මතුකර ඇති ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් රජය සඳහන් කර සිටියේ 2011 දෙසැම්බර් 3 වන දින නිකුත් කළ චක්‍රලේඛය අනුව සියලුම මට්ටම්වල විනිසුරුවරුන්ට පෙර පරිදිම ආරක්ෂාව සපයන බවයි. ඊට අමතරව 2024 දෙසැම්බර් මාසයේදී විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධීකරණය සඳහා විශේෂ නිලධාරියෙකු ද පත්කර ඇත.
රජය තවදුරටත් අවධාරණය කර සිටියේ මෙම සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත්, මෙය පාතාල ක්‍රියාකාරකම් බවත්ය.
පසුගිය දශක දෙක තුන තුළ පාතාල කල්ලි දේශපාලන අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ බවත්, වර්තමාන රජය එවැනි රැකවරණයක් නොදෙන බවත් පැහැදිලි කර ඇත. එමෙන්ම පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම්, සහ අනෙකුත් අපරාධ එකිනෙක සම්බන්ධ බව ද පෙන්වා දී තිබේ.
කිසිදු භේදයකින් තොරව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරන බවත්, පොලිස් හෝ හමුදා නිලධාරීන් වුවද නීතිය ඉදිරියේ සමාන බවත් රජය අවධාරණය කර ඇත. විමර්ශන සඳහා පොලීසියට පූර්ණ නිදහස ලබා දී ඇති අතර, සමහර විමර්ශන කටයුතු රහසිගත බැවින් ඒවා ප්‍රසිද්ධියේ හෙළි නොකරන නමුත්, විමර්ශන ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුව නිරන්තරයෙන් දැනුවත් කරන බව ද සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval