a-murder-in-kotahena-in-the-middle-of-the-night-and-two-murders-while-displaying-weapons

කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් සිද්ධියක සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (21) රාත්‍රියේ පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිද්ධිය අතරතුර පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර, ඔහු දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.



පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සිද්ධිය පිළිබඳව විස්තර කරමින් පැවසූ පරිදි, ඊයේ රාත්‍රී 9.00ට පමණ කොටහේන වීදියේ පිහිටි ජංගම දුරකථන අලෙවිසැලක් තුළදී 38 හැවිරිදි ශෂි කුමාර් නැමැති පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇත. වෙඩි වැදුණු පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් පසු පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය සඳහා භාවිත කළ යතුරුපැදිය සහ T56 ගිනි අවිය ද සොයාගෙන තිබේ.

පසුව රාත්‍රී කාලයේදී සැකකරුවන් විසින් තවත් සැඟවූ අවි ආයුධ පිළිබඳව පොලීසියට තොරතුරු ලබාදීමෙන් අනතුරුව, එම ස්ථානය පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් සැකකරුවන් සමඟ ගොස් තිබේ.

එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි උදුරාගෙන ඔවුන්ට වෙඩි තැබීමට උත්සාහ දරා ඇත. මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් තම ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයන්ගෙන් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී. මෙම සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.