
ට්‍රම්ප් පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන නව සංක්‍රමණික ප්‍රතිපත්ති යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය (ICE) විසින් මිලියන 1.4කට අධික නීති විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් පිටුවහල් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම පිටුවහල් කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයින් 3,065 දෙනෙකු ඇතුළත් වන බව හෙළි වී තිබේ.
2024 නොවැම්බර් 24 වන දිනට, ICE හි රඳවා නොගත් ලේඛනයේ අවසන් පිටුවහල් කිරීමේ නියෝග සහිත පුද්ගලයින් 1,445,549ක් සිටින අතර, ඉන් ශ්‍රී ලාංකිකයින් 3,065ක් මෙම සංඛ්‍යාවට ඇතුළත් වේ. මෙම පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය සඳහා විරුද්ධත්වය පළ කරන රටවල් අතර ශ්‍රී ලංකාව නොමැති බව ICE ආයතනය තහවුරු කර ඇත.
පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජනපද රජය විසින් විදේශ රජයන්ගෙන් ඔවුන්ගේ පුරවැසියන් යැයි සැක කරන පුද්ගලයින්ගේ පුරවැසිභාවය තහවුරු කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, කාලීනව ගමන් ලියකියවිලි නිකුත් කිරීම සහ ICE සහ/හෝ විදේශ රජයේ පිටුවහල් කිරීමේ මාර්ගෝපදේශවලට අනුකූලව වාණිජ හෝ කුලී ගුවන් යානා මගින් ඔවුන්ගේ පුරවැසියන් ආපසු භාර ගැනීම වැනි සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.
වත්මන් තත්ත්වය අනුව, ICE ආයතනය විසින් රටවල් 15ක් සහයෝගීතාවය නොදක්වන රටවල් ලෙස හඳුනාගෙන ඇත. මේවා නම්: භූතානය, බුරුමය, කියුබාව, කොංගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුව, එරිත්‍රියාව, ඉතියෝපියාව, හොංකොං, ඉන්දියාව, ඉරානය, ලාඕසය, පාකිස්තානය, චීන මහජන සමූහාණ්ඩුව, රුසියාව, සෝමාලියාව සහ වෙනිසියුලාව යන රටවල් වේ.
තවද, රටවල් 11ක් අනුකූල නොවීමේ අවදානමක් ඇති රටවල් ලෙස සලකනු ලැබේ. මේවා නම්: බොස්නියා-හර්සගොවීනා, බර්කිනා ෆාසෝ, කාම්බෝජය, ගැබොන්, ගැම්බියාව, ඉරාකය, ජමෙයිකාව, නිකරගුවාව, දකුණු සූඩානය, ශාන්ත ලුසියා සහ වියට්නාමය යන රටවල් වේ.
ට්‍රම්ප් පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන මෙම දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති මගින් පුද්ගලයින්ගේ පෞද්ගලික තත්ත්වයන් හෝ එක්සත් ජනපදය සමග ඇති සම්බන්ධතා නොසලකා හරිමින් විශාල පිරිසක් ඉලක්ක කර ගැනීම සිදු කරයි. මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව, එක්සත් ජනපදය පෙර ආඩම්බර වූ කරුණාව හා සාධාරණත්වයේ වටිනාකම් පසෙක ලන දේශපාලනිකව පේ්‍රරිත ක්‍රියාමාර්ගයක් ලෙස විචාරකයින් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ලැයිස්තුවේ සිටින සියලු දෙනා වහාම පිටුවහල් කිරීම සිදු කළ නොහැකි බව ICE ආයතනය පිළිගනී. විශේෂයෙන්ම නීතිමය සහ ප්‍රවාහන අභියෝග හේතුවෙන් මෙය එකවර සිදු කළ නොහැකි අතර, එක්සත් ජනපදයේ සරණාගත භාවය ඉල්ලා නඩු පවරා ඇති සංක්‍රමණිකයින්ට එම නඩු කටයුතු අවසන් වන තෙක් රැඳී සිටීමට අවසර ඇත.
ට්‍රම්ප් පරිපාලනය යටතේ ICE ආයතනයේ ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ නිසි ලියකියවිලි නොමැති සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමයි. විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, දිනකට එවැනි සංක්‍රමණිකයින් 1,500ක් පමණ අත්අඩංගුවට ගැනීම එම ආයතනයේ ඉලක්කය වී තිබේ.
මෙම ප්‍රතිපත්ති "සංක්‍රමණය පිළිබඳ දැඩි ස්ථාවරයක්" ලෙස හඳුන්වනු ලැබුවද, එහි සැබෑ ප්‍රතිඵලය වන්නේ පවුල් බිඳ දැමීම සහ කිසිදු සැලකිල්ලකින් තොරව ජීවිත අවුල් කිරීම තුළින් මානව හිමිකම් කඩකිරීමකි. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළු සියලු සංක්‍රමණික ප්‍රජාවන් සැලකිලිමත් විය යුතු අතර, නීතිමය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval