trains-take-e-tickets-in-seconds-and-sells-them-back-to-a-smuggling-station-officer

දුම්රිය ඊ-ප්‍රවේශපත්‍ර අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි මාකුඹුර දුම්රිය ස්ථානයේ 'පොලිස්මන්' නිලධාරියෙකුගේ සහ දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු විසින් මෙම තොරතුරු තහවුරු කරන ලදී.

විමර්ශනවලින් හෙළි වූ කරුණු අනුව, අදාළ නිලධාරියා තම ඥාතියෙකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් අන්තර්ජාලය හරහා වෙන් කරගත් ප්‍රවේශපත්‍ර අධික මිල ගණන් යටතේ විකිණීම සිදු කර ඇත.



උඩරට දුම්රිය මාර්ගයේ ඊ-ටිකට්පත් අන්තර්ජාලයට නිකුත් කළ පසු තත්පර 42ක් වැනි කෙටි කාලයක් තුළ සියල්ල විකිණී ගොස් තිබුනේ මෙම ජාවාරම්කරුවන් එය දැනගෙන කළ වංචාවකින් බව හෙළි වී තිබේ. රුපියල් 2,000ක මුහුණත වටිනාකමක් සහිත ප්‍රවේශපත්‍රයක් විදේශිකයින්ට රුපියල් 16,000ක් දක්වා ඉහළ මිලකට අලෙවි කරන බවට වාර්තා වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව මාසයකට පෙර සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර, සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සමහර පුද්ගලයින් සහ ආයතන විශේෂ තාක්ෂණික ක්‍රම භාවිත කරමින් මෙම ප්‍රවේශපත්‍ර තොග වශයෙන් මිලදී ගැනීම සිදු කරයි. මෙම ක්‍රියාවලියට දුම්රිය ස්ථාන අවට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහයද ලැබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර,

මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සඳහන් කළේ කොළඹ කොටුව, මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක වන මෙම ප්‍රවේශපත්‍ර ජාවාරම නිසා විදේශ සංචාරකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ රටේ කීර්තිනාමයට සෘජුව බලපෑම් එල්ල කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසූ පරිදි, මෙම ගැටලුව විසඳීමේදී ප්‍රධාන බාධකය වන්නේ වැඩි මිලට ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පුද්ගලයින් පැමිණිලි ඉදිරිපත් කළද, නීතිමය ක්‍රියාමාර්ග සඳහා සහය නොදැක්වීමයි.

මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහළ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. කෙසේ වෙතත්, සාර්ථක නීතිමය ක්‍රියාමාර්ග සඳහා පීඩාවට පත් පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අදාළ බලධාරීන් අවධාරණය කරයි.