
අංජනම් බලන්නෙකුගේ උපදෙස් මත නිවසක රත්රන් නිධානයක් සොයා කැණීම් කටයුතු සිදු කරමින් සිටි ත්‍රීරෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් වැටලීමේදී හෙළි වූ තොරතුරු අනුව, සැකකරුවන් දෙදෙනා නිවසේ සාලයේ අඩි 18ක් පමණ ගැඹුරට කැණීම් සිදු කර තිබූ අතර, ඒ සඳහා භාවිතා කළ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම උපකරණ අතර උදලු, සවල්, යකඩ ඉනි, ගල් විදීමට යොදාගත් ඩ්‍රිල් මැෂිමක්, කපන කටු, කඩුවක්, පිහියක් මෙන්ම මල් පහන් හා සුවඳ දුම් ද විය.
කහතුඩුව වෙනිවැල්කොළ පාසල් මාවතේ පිහිටි මෙම නිවසේ සිදුවූ සිද්ධිය පිළිබඳව පොලීසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, නිවසේ හිමිකරු තම බිරිඳ සහ දරුවන් නිවසෙන් ඉවත් කර, වෙළඳසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගේ සහය ඇතිව මෙම කැණීම් කටයුතු සිදු කර ඇත. කැණීම් හඬ පිටතට නොඇසෙන පරිදි බෆල් යන්ත්‍රයක් මගින් පිරිත් ශබ්ද විකාශනය කර තිබේ.
පොලිස් නිලධාරීන්ගේ වැටලීමේදී අනාවරණය වූ පරිදි, සැකකරුවන් විදුලි ආලෝකය යටතේ කැණීම් කටයුතුවල නිරත වී සිටි අතර, භූගත ව අඩි 18ක පමණ ගැඹුරට කළුගල් ස්ථරයක් හමු වී ඇත. මෙම ගල් ස්ථරය පිපිරවීම සඳහා රසදිය භාවිතා කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවදුරටත් අනාවරණය වූයේ, වසර 15කට පමණ පෙර මෙම ඉඩම මිලදී ගෙන නිවස ඉදි කිරීමට භූමිය සකස් කිරීමේදී රත්රන් හමු වූ බවට පැවසූ තොරතුරක් මත මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇති බවයි.
මාතලේ ප්‍රදේශයේ අංජනම් එළි බලන කපුවෙකුගේ උපදෙස් මත,
නිවසේ දෙවන කොටසේ උළුවස්ස අසල කැණීම් කටයුතු සිදු කර ඇති අතර, පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පුද පූජා පවත්වමින් දිවා රාත්‍රී දෙකෙහිම මෙම කැණීම් සිදු කර තිබේ.
වයස අවුරුදු 51ක් සහ 54ක් වන සැකකරුවන් දෙදෙනා පුරාවස්තු වටිනාකමක් ඇති ඉඩමක නීති විරෝධී ලෙස අනවසරයෙන් කැණීම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වැටලීම කහතුඩුව පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතින අතර, මෙවැනි නීති විරෝධී කැණීම් කටයුතු සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය අවධාරණය කරයි.