
කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ ඊයේ (07දා) අලුයම පැවැති ඝන, දැඩි මීදුම් තත්ත්වය නිසා, එහි ගොඩබැස්සවීමට පැමිණි ගුවන්යානා 04ක ගුවන් නියමුවන්ට, කටුනායක ගුවන්තොටුපළ ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා,
මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා පැවැසීය.
ඒ අනුව ඊයේ (07දා) අලුයම 05.00ට කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 , චීනයේ ග්ලැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ 05.05ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන්යානා 03 මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට 07 දින අලුයම 06.00ට කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන්යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපළ වෙත හරවා යවා තිබිණි. මත්තල ගුවන්තොටුපළ වෙත යොමුකළ ශ්‍රී ලන්කන් ගුවන්යානා වෙත ඉන්ධන ලබා දී තිබූ අතර, එම ගුවන් යානාවල පැමිණි ගුවන් මගීන් පිටතට බස්සවා නොතිබිණි.මෙසේ වෙනත් ගුවන්තොටුපළ වෙත යොමුකර තිබූ සියලුම ගුවන් යානා ඊයේ (07දා) උදෑසන 09.00 පමණ වන විට යළිත් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.
එසේම එදින උදෑසන 07.00 පමණ වන විට කටුනායක ගුවන්තොටුපළ අවට ප්‍රදේශයේ පැවැති ඝන මීදුම් තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් තිබූ අතර, ඉන්පසුව කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි සියලුම ගුවන් යානා, සාමාන්‍ය පරිදි, කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබැස්සවීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා වැඩිදුරටත් පැවැසීය .
Comments
Post a Comment
Your comment will be visible after approval