
වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක සේවයේ නියුතු හෙද නිලධාරිනියක පැහැරගෙන ගොස් පහරදී මුදල් හා දේපළ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින හිටපු පොලිස් සැරයන්වරයෙක් වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථාන නිලධාරීන් විසින් තහවුරු කර ඇති පරිදි, අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාසයේ සේවය කර තිබෙන අතර, පසුගිය වසරේ මාර්තු මස 11 වැනි දින සිට තනතුර හැර යාමේ නියෝග නිකුත් කර ඇති නිලධාරියෙකි.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවල මහතාගේ ප්‍රකාශයට අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැදිගම, කිරිවිට ප්‍රදේශයේ පදිංචි හෙද නිලධාරිනිය විසින් ජනවාරි 18 වැනි දින වැල්ලවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
පැමිණිල්ලේ සඳහන් තොරතුරු අනුව, ඇය වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකාගාරය ඉදිරිපිට සිටියදී, කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් පැමිණි ඇයගේ ස්වාමිපුරුෂයා සහ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි සැකකරු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් වෑන් රථයට ඇද දමාගෙන පැහැරගෙන ගොස් තිබේ.
පැහැරගැනීමෙන් අනතුරුව සැකකරුවන් විසින් ඇයට පහරදී, ඇය සතුව තිබූ රුපියල් 31,500 ක මුදලක් සහ වටිනා දේපළ කොල්ලකා, වැලිකඩ පොලිස් වසමේදී ඇය නිදහස් කර ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
ස්වාමිපුරුෂයා ඇයව මෙලෙස පැහැරගැනීමට හේතු ඇය දක්වා නැත.
වැල්ලවත්ත පොලිස් ස්ථානය විසින් සිදු කරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුව, මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හිටපු පොලිස් සැරයන්වරයා හඳුනාගැනීමට හැකි වී තිබේ. පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන පැමිණ මෙම අපරාධය සිදු කර ඇත්තේ ඔහු බව තහවුරු වී ඇති බව පොලිස් මූලාශ්‍ර සඳහන් කරයි.
පොලිස් විමර්ශන නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව, මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන්ද හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි විමර්ශන මෙහෙයුමක් දියත් කර තිබේ. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවල මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන වැල්ලවත්ත පොලීසිය පවසන්නේ, මෙවැනි අපරාධයක් සිදු කිරීම සඳහා පොලිස් නිල ඇඳුම අවභාවිතා කිරීම බරපතල වරදක් බවත්, එය පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට හානිකර බවත්ය. එබැවින් මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බවද පොලිස් නිලධාරීහු අවධාරණය කරති.
මෙම හෙදියගේ සැමියා තවම අත්අඩංගුවට ගෙන නැති අතර මෙය කවරආකාරයේ පවුල් ප්‍රශ්නයක් මත සිදුවූ අපරාධයක්ද යන්න ඔහු අත්අඩංගුවට ගත්පසු හෙලිකරගන්නට පොලිසිය අපේක්ෂා කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval