duminda-silva-transferred-back-from-hospital-ward-to-general-ward-on-medical-advice

විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත ක්‍රියා කරමින්, ජනවාරි 16 වන දින දුමින්ද සිල්වා සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ K-1 නම් සාමාන්‍ය සිර මැදිරියක් වෙත මාරු කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව, තවදුරටත් රෝහල් ගත කර තැබීමේ අවශ්‍යතාවයක් නොමැති බවට නිගමනය කිරීමෙන් පසුවය.



මීට පෙර, ජනවාරි 10 වන දින සිරකරු සාමාන්‍ය සිර මැදිරියකට මාරු කිරීමෙන් පසු හදිසි සංකූලතාවයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබුණි. රෝහලෙන් මුදා හැරීමෙන් පසු නැවත බන්ධනාගාර රෝහල වෙත රැගෙන එන ලද අතර, විශේෂඥ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන තෙක් එහි රඳවා තැබීමට තීරණය කර තිබිණි.



බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිරකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් සිදු කර ඇත. එම කමිටුවේ නිර්දේශය වී ඇත්තේ තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තැබීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. කෙසේ වෙතත්, හදිසි අවස්ථාවක දී වහාම ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතු බවද කමිටුව නිර්දේශ කර තිබේ.


වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණීය දණ්ඩනය නියම වූ සිරකරු ආර්. දුමින්ද සිල්වා මහතා වෙත විශේෂ වරප්‍රසාද හිමි වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පවසන පරිදි, මෑත කාලීනව යම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ජාල හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට හානි කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටී.



"බන්ධනාගාර රෝහලේ රැඳවියන් සඳහා පොදුවේ සපයා ඇති පහසුකම්වලට අමතරව දුමින්ද සිල්වා සිරකරු වෙත කිසිදු විශේෂ පහසුකමක් ලබා දී නොමැති බව අවධාරණය කරමු. මේ සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාර නිවැරදි කිරීම සඳහා අදාළ වාට්ටුවේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා," යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැහැදිලි කළේ සියලුම රැඳවියන් සඳහා එකම ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. "සෑම රැඳවියෙකුම බන්ධනාගාර වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ රෝගී තත්ත්වය අනුව නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීම හෝ නොකිරීම තීරණය කරනු ලබනවා. මෙය බන්ධනාගාර ව්‍යවස්ථාපිත රීති යටතේ 41 සිට 81 දක්වා වගන්තිවල පැහැදිලිව දක්වා තිබෙනවා," යැයි ඔහු සඳහන් කළේය.

"විවිධ පුද්ගලයින් තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ දරන බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් මහජනතාව විමසිලිමත් විය යුතුයි," යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.