dawulagala-kidnap-girl-found

ගම්පොළ, ගෙළිඹය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය අම්පාර බස් නැවතුම්පළකදී සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙයි.
ඇය සමඟ සිටි ප්‍රතික්ෂේපිත විවාහපේක්ෂක සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.





මෙම සැකකරු වෑන් රථයකින් විත් සිසුවිය පැහැර ගැනීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ තුනක් ස්ථාන කිහිපයකදී මාරු වෙමින් ඇයව අම්පාර ප්‍රදේශයට රැගෙන විත් තිබෙන අතර අද උදෑසන සැකකරු මෙම සිසුවියට ඇයව නිවෙස වෙත නැවත ඇරලවන බව පවසා අම්පාර බස් නැවතුපොලට පැමිණ නුවර බලා ධාවනය වීමට නියමිත බස් රථයකට ගොඩවී ඇතැයි වාර්තා විය.
ඇයට නිහඬව සිටින ලෙසට තර්ජනය කර තිබී ඇති බවද වාර්තා විය. කෙසේ වෙතත් පොලිසිය ක්‍රියාත්මකවී සැකකරු සහ සිසුවිය බස් රථය යාමට ප්‍රථම අල්ලාගෙන තිබේ.



උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා පෙරවරුවේ පෙරවරු 7.15 ට පමණ මෙම පැහැර ගැනීම සිදු කර තිබුණි.
පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී මුලින් ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශන වලදී අනාවරණය වූයේ ඇය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසු වූ නමුත් නිවැසියන් අකමැති බව කියන මස්සිනා කෙනෙකු විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබූ බවකි.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටි ඔහු  මුලින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩු කර ඇති බවද වාර්තා විය. පොලිසිය ඇය සොයා මෙහෙයුම් ඇරඹුවේ මේ අතරදියි. ජංගම දුරකථන සංඥා ඔස්සේ පුද්ගලයා සිටින ස්ථාන හසුකරගත් බව පොලිසිය කියයි.
අල්ලාගත් සැකකරු වයස 31 ක් වන ගම්පොළ කහටපිටිය පදිංචිකරුවෙකි.
මෙලෙස පැහැර ගැනීමට ලක්වූ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතය.