canadian-university-researcher-collapses-and-dies-during-lecture-in-jaffna

කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයකු වන ආචාර්ය පොන්නතුරෙයි රවිචන්ද්‍රනේසන් මහතා (වයස 58) පසුගිය සෙනසුරාදා (25) යාපනයේදී හෘද රෝගී තත්ත්වයකින් හදිසියේ අභාවප්‍රාප්ත විය.

දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ නායක සහ හිටපු උතුරු පළාත් සභා අමාත්‍ය පොන්නතුරෙයි ඓංගරනේසන් මහතාගේ සහෝදරයා වන ඒ මහතා, පර්යේෂණ කටයුත්තක් සඳහා කැනඩාවේ සිට යාපනයට පැමිණ සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත විය.



පසුගිය සති දෙකක පමණ කාලයක් තිස්සේ යාපනයේ රැඳී සිටි රවිචන්ද්‍රනේසන් මහතා, එහි කෘෂිකාර්මික මධ්‍යස්ථානයක දේශනයක් පවත්වමින් සිටියදී හදිසියේ බිම ඇද වැටී ඇති අතර, වහාම යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, එවන විටත් මිය ගොස් සිටි බව රෝහල් වෛද්‍යවරු තහවුරු කර ඇත.

රවිචන්ද්‍රනේසන් මහතා යාපනය විශ්ව විද්‍යාලයේ ආරාධනයක් මත උතුරු ප්‍රදේශයේ භූගෝලීය හා දේශගුණික විපර්යාස පිළිබඳ දේශන මාලාවක් පැවැත්වීම සඳහා ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය විසින් යොමු කර තිබිණි.



ඔහු සමාජ ප්‍රගතිය වෙනුවෙන් විදේශගත දෙමළ ජනතාව සහ මව්බිම අතර සබඳතා ගොඩනගමින් කැපවීමෙන් ක්‍රියා කළ පුද්ගලයෙකි. වාමාංශික දේශපාලන දර්ශනය ඔස්සේ සමාජ වෙනස උදෙසා ක්‍රියා කරමින්, ප්‍රගතිශීලී අදහස් දරන්නන්ගේ හඬක් ලෙස "වෛකරෛ" නමින් පුවත්පතක් පවත්වාගෙන ගිය අතර, එමගින් ඔහු "වෛකරෛ රවි" ලෙස ප්‍රකට විය. එමෙන්ම "පූගෝලම්" (භූගෝලම්) පුවත්පත සමඟද සම්බන්ධව කටයුතු කර ඇත.

තවද, ලාභ නොලබන සංවිධානයක සහය ඇතිව තෙවන ලෝක රටවල සමාජ සංවර්ධනය අරමුණු කරගනිමින් ලෝකයේ බොහෝ රටවල් වෙත සංචාරය කරමින් පර්යේෂණ සිදු කළ ඔහු, එම දැනුම යාපනය විශ්ව විද්‍යාලය සහ උතුරු ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට උත්සාහ දැරීය.



මේ වන විට ඔහුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇත.

රවිචන්ද්‍රනේසන් මහතා යාපනයේ උපත ලබා, පසුව කැනඩාවට සංක්‍රමණය වී එරට විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා ආචාර්ය උපාධිය දක්වා සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කර තිබේ. ඔහු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු ලෙස කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිටියේය.