
තීරුබදු රහිත වාහන බලපත්‍ර සම්බන්ධ වංචා චෝදනාවලට ලක්ව සිටින විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු වන හපුආරච්චිගේ දොන් බුද්ධික නුවන් කරුණාරත්න මහතා ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පස් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සමාලෝචනය කිරීමෙන් අනතුරුවය.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍රයට අනුව, විත්තිකරු වන කරුණාරත්න මහතා තීරුබදු රහිත බලපත්‍ර භාවිත කරමින් විදේශ රටවලින් වාහන ආනයනය කර දෙන බවට පොරොන්දු වී වෛද්‍යවරුන්ගෙන් විශාල මුදලක් ලබාගෙන එම අරමුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
පසුගිය නොවැම්බර් මාසයේ පැවති නඩු විභාගයට පැමිණීමට නොහැකි බව දක්වමින් විත්තිකරු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර, ජනවාරි 17 වැනි දින පැවති නඩු විභාගයටද ඔහු සහභාගී නොවී ඇත්තේ රෝගී තත්වයක් හේතුවෙන් බව ඔහුගේ ඇපකරු මගින් දන්වා තිබිණි. කෙසේ වෙතත්, වෛද්‍ය මණ්ඩල පරීක්ෂණයෙන් හෙළි වූයේ වෛද්‍යවරයා අධිකරණ කටයුතුවලට සහභාගී වීම වළක්වන කිසිදු රෝගී තත්වයකින් නොපෙළෙන බවයි.
20 වනදා පැවති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අකලංක බාලපටබැඳි මහතා විත්තිකරුගේ රෝගී තත්වය පිළිබඳව විධිමත් වාර්තාවක් ලබා ගැනීමේ අවශ්‍යතාව අධිකරණයේ අවධානයට යොමු කළේය.
මෙම ඉල්ලීම සැලකිල්ලට ගත් විනිසුරු මංජුල තිලකරත්න මහතා, විත්තිකරුගේ රෝගී තත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ජනවාරි 23 වැනි දින වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේය. විශේෂයෙන්ම පසුගිය නොවැම්බර් මාසයේ පැවති රෝගී තත්වය සහ එම තත්වය ජනවාරි 17 වැනි දින අධිකරණයට පැමිණීමට බාධාවක් වූයේද යන්න පිළිබඳව මෙම වාර්තාවෙන් තහවුරු කළ යුතු බව විනිසුරුවරයා අවධාරණය කළේය.
මෙම පරීක්ෂණය සඳහා විත්තිකරු වහාම යොමු කිරීමට රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සාජිත් මහතාට නියෝග කර ඇති අතර, ඊළඟ නඩු විභාගය අද ජනවාරි 23 වැනි දින පැවැත්වූ අවස්ථාවේ අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් වූ පසු රෝගී තත්වය ව්‍යාජ බව හෙළි විය.
ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමෙන් අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කළ බවට සැලකෙන විත්තිකරු පෙබරවාරි 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
0 Comments