
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර, අද (27) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් මිලියන 50 බැගින් වූ ඇප බැඳුම්කර දෙකක් යටතේ ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.නඩුව තවදුරටත් පැවැත්වේ.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් සිදු කරන ලද දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව මෙම තීරණය ගන්නා ලදී. මෙම නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇතුළු රජයේ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සිදු වූයේ පසුගිය 25 වන දින බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලදීය. ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක වටිනාකමක් ඇති නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන ලද අතර, එහිදී පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කිරීම් සිදු කර ඇත. ඉන් අනතුරුව ඔහු කොළඹ අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය හමුවට ඉදිරිපත් කරන ලද අතර, ඇය විසින් ජනවාරි 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය වෙත රැගෙන විත් දීර්ඝ නීතිමය කරුණු විමසීමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ඇප ලබා දීමේ නියෝගය නිකුත් කරන ලදී.
මෙම නඩු විභාගය සාක්ෂි ලබාගැනීමෙන් පසු ලැබුණ වාර්තාව හිටපු නීතිපතිවරුන් ලාච්චුවේ තබාගැනීම නිසා ප්‍රමාදවූ නඩුවකි.රත්මලාන සිරිමල් පෙදෙසේ මෙතරම් විශාල වත්කමක් මිලටගන්නට යෝෂිතට ප්‍රමාණවත් රැකියා ආදායමක් නොමැතිවීම නඩු නිමිත්ත විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval