the-two-monks-and-their-disciple-who-stole-a-silver-dragon-pandal-worth-two-crores-from-the-ancient-karagampitigoda-temple

මාවනැල්ල, දෙවනගල, කරගම්පිටිගොඩ ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයෙන් කිලෝග්‍රෑම් 60ක් බර, රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමක් ඇති රිදී මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ සොරකම් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනා පෙබරවාරි 05 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් ඩබ්ලිව්.ඒ.එස්.ඒ. වීරක්කොඩි මහතා නියෝග කර තිබේ.

ජනවාරි 22 වන දින පැවති නඩු විභාගයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර ස්වාමීන් වහන්සේ දෙනම සහ සිවිල් පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සොරකම් කරන ලද රිදී මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ තවදුරටත් අධිකරණ භාරයේ තබා ගැනීමට ද පොලීසියට උපදෙස් ලබා දී ඇත.



මාවනැල්ල දෙවනගල රජමහා විහාරාධිකාරී මැදිරිගිරියේ පඤ්ඤසාර ස්වාමීන් වහන්සේ දෙවනගල ප්‍රදේශයේ විහාරස්ථාන හතරක විහාරාධිපති ධුරය දරන අතර, කරගම්පිටිගොඩ පුරාණ විහාරස්ථානය ඉන් එකකි. මෙම විහාරස්ථානයේ වැඩ සිටින වයස අවුරුදු 80ක් වන වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේට ආගමික කටයුතු පැවැත්වීමට අපහසු වීම හේතුවෙන්, විහාරස්ථානයේ දෛනික කටයුතු සහ දායක ප්‍රජාවගේ ආගමික වතාවත් සිදු කිරීම සඳහා ස්වාමීන් වහන්සේ නමක් බඳවා ගැනීමට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැන්වීමක් පළ කර තිබිණි.

මෙම දැන්වීම දුටු දොම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි ස්වාමීන් වහන්සේ නමක් දුරකථනයෙන් විමසීම් කර, පසුගිය නොවැම්බර් 23 වන දින විහාරස්ථානයට වැඩම කර එහි වගකීම් භාරගෙන තිබේ.

කෙසේ වෙතත්, නොවැම්බර් 25 වන දින මාතර පදිංචි තම මෑණියන් අසනීප වී සිටින බව පවසමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේට දැනුම් දී විහාරස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

නැවත නොවැම්බර් 27 වන දින විහාරස්ථානයට වැඩම කළ එම ස්වාමීන් වහන්සේ, නොවැම්බර් 28 වන දින සිට අතුරුදන්ව ඇති අතර, විහාරස්ථානයේ ඉහළ මහලේ තැන්පත් කර තිබූ රුපියල් කෝටි දෙකක වටිනාකමක් ඇති පුරාණ රිදී මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේද අතුරුදන්ව ඇති බව නොවැම්බර් 28 වන දින මාවනැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.


පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී,

සැකකාර ස්වාමීන් වහන්සේ කටුගස්තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. එම ස්වාමීන් වහන්සේගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව, මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගෙන යාමට සහය දුන් තවත් ස්වාමීන් වහන්සේ නමක්, මෝටර් රථයක් සහ එහි රියැදුරෙකුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

සැකකරුවන් සහ සොරකම් කරන ලද පුරාවස්තූන් පසුගිය නොවැම්බර් 30 වන දින මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, නැවත ජනවාරි 22 වන දින පැවති නඩු විභාගයේදී ඔවුන්ගේ රිමාන්ඩ් භාරය පෙබරවාරි 05 වන දින දක්වා දීර්ඝ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම වස්තූන් සොරකම් කිරීම පිටුපස තවත් පුද්ගලයන් සිටීද යන්න සොයා බැලීමට පොලීසිය විශේෂ අවධානය යොමු කර ඇත. තවද, මෙවැනි ඓතිහාසික හා ආගමික වටිනාකමකින් යුත් වස්තූන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙම සිද්ධිය තුළින් පැහැදිලි වී ඇති බව පොලිස් නිලධාරීහු පවසති.