
ජාතික හැඳුනුම්පත් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත රැස්කිරීමේ අරමුණ පිළිබඳව රජය පැහැදිලි කිරීමක් කළ යුතු බවට ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී වසන්ත මුදලිගේ මහතා අවධාරණය කර සිටී.
ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට නියමිත මෙම ව්‍යාපෘතිය යටතේ පුරවැසියන්ගේ ඇසේ කළු ඉංගිරියාව, ඇඟිලි සලකුණු, මුහුණේ හැඩය, කන් සහ නාසයේ හැඩය වැනි පුද්ගල ජෛවමිතික දත්ත රැස්කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
"දැනට භාවිතා වන ජාතික හැඳුනුම්පත ඩිජිටල් ආකෘතියකට පරිවර්තනය කිරීම සඳහා මෙතරම් පුළුල් ජෛවමිතික දත්ත සමුදායක් රැස්කිරීමේ අවශ්‍යතාව කුමක්ද?" යන්න පිළිබඳව මුදලිගේ මහතා ප්‍රශ්න කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු ඉල්ලා සිටිමින් ලිපියක් භාර දීමට පැමිණි අවස්ථාවේදීය.
"පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලු මතුවන මෙවැනි ව්‍යාපෘතියක් විදේශීය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් රජය වගකිව යුතුයි," යැයි මුදලිගේ මහතා වැඩිදුරටත් පැවසීය.
ජෛවමිතික දත්ත රැස්කිරීම සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය රාමුවක් නොමැති තත්ත්වයක් තුළ මෙවැනි සංවේදී තොරතුරු එක්රැස් කිරීම අවදානම් සහගත බව ඔහු අවධාරණය කළේය.
"රටේ සෑම පුරවැසියෙකුගේම ජෛවමිතික දත්ත විදේශීය සමාගමක් සතුව තිබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි. මෙම දත්ත අයථා ලෙස භාවිතා කිරීම වැළැක්වීමට ඇති යාන්ත්‍රණය කුමක්ද?" යන්න පිළිබඳව ද මුදලිගේ මහතා ප්‍රශ්න කළේය.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගම තෝරා ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය පිළිබඳවද විනිවිදභාවයකින් යුතු පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතික හැඳුනුම්පත් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය පිළිබඳව සිවිල් සමාජ සංවිධාන සහ දත්ත ආරක්ෂණ විශේෂඥයින් විසින් ද මීට පෙර විවිධ කරුණු මතුකර තිබිණි.
විශේෂයෙන්ම පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත සුරක්ෂිතතාව, දත්ත කළමනාකරණය සහ භාවිතය පිළිබඳ නීතිමය රාමුවක අවශ්‍යතාව ඔවුන් විසින් අවධාරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ජන අරගල ව්‍යාපාරය පෙන්වා දෙයි.
"ඕනෑම රටක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යයක් විය යුතුයි. එය තාක්ෂණික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන්ද සංවේදී කාර්යයක්," යැයි මුදලිගේ මහතා අවසාන වශයෙන් පැවසීය.
මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශය මෙම කරුණු සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, ඉදිරියේදී මාධ්‍ය හමුවක් පවත්වා මෙම ව්‍යාපෘතිය පිළිබඳ විස්තර දැනුම් දීමට නියමිත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval