palestinians-freed-by-ceasefire-accuse-israel-of-torture

ගාසා සටන් විරාමය යටතේ නිදහස් කරන ලද පලස්තීන සිරකරුවන් ඊශ්‍රායල සිර මැදිරි තුළ සිදුවූ බරපතල අපයෝජනයන් පිළිබඳව හෙළිදරව් කර ඇති අතර, අස්ථාවර සටන් විරාමය බිඳ වැටීමේ හා නැවත අත්අඩංගුවට ගැනීමේ බියෙන් ඔවුන්ගේ නිදහස පිළිබඳව  අනියත හැඟීම් පළ කර තිබේ.

සඳුදා උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර බටහිර ඉවුරේ පිහිටි ඔෆර් බන්ධනාගාර සංකීර්ණයෙන් පිටත්ව යන බස් රථ වලට කොඩි වනමින් ඔවුන්ව උද්යෝගිමත් ජනකායක් පිළිගත්හ. මෙම බස් රථ තුළ සිටි කාන්තාවන්, නව යෞවනයන් හා ළමුන් ඇතුළු පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු ඊශ්‍රායල රඳවා ගැනීමේ පද්ධතිය තුළ අපයෝජනයට හා වධහිංසාවලට ලක්වූ බව චෝදනා කර තිබේ.
නමුත් ඊශ්‍රායලය මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජනපදය, කටාර් හා ඊජිප්තුව විසින් මැදිහත්ව සාක්ෂාත් කරගත් සටන් විරාමයේ කොටසක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කෙරිණි. අදියර තුනකින් සමන්විත මෙම ගිවිසුම යටතේ,

ඔක්තෝබර් 7 වන දින සිදු කළ ප්‍රහාරයේදී හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගිය සිරකරුවන් 33 දෙනෙකු නිදහස් කරනු ඇත. ඊට අනුරූපව, ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන් 2,000ක් පමණ නිදහස් කෙරෙනු ඇත.
ගාසාවේ මාස 15ක් රඳවාගෙන සිටි මුල් සිරකරුවන් තිදෙනා අතර බ්‍රිතාන්‍ය-ඊශ්‍රායල පුරවැසි එමිලි දමාරි (27) ද සිටි අතර, ඔවුන් ඉරිදා දින තෙල් අවීව් මධ්‍යම රෝහලේදී සිය පවුල් සමග සංවේගාත්මක ලෙස එක්වූහ. ඔෆර් බන්ධනාගාරය ඉදිරිපිට ඊශ්‍රායල ආරක්ෂක හමුදා සමග ඇති වූ ගැටුම්වලින් පසු සඳුදා අලුයම වන තුරු සිරකරුවන් නිදහස් නොකෙරිණි.

නිදහස් කරන ලද්දන් අතර සිටි අවුරුදු 17ක් වයසැති ද්විතීයික පාසල් සිසු තාඑර් අබු සාරා, පවසන්නේ රඳවා සිටි කාලය තුළ විදුලි සැර ඇතුළු වධහිංසාවලට ලක් වූ බවයි.
"සිර මැදිරියේ තත්ත්වය ඉතා දරුනුයි. ඔවුන් අප දිනපතා පහර දුන්නා, ආහාර දුන් නෑ," යැයි තාඑර් සිය අත්දැකීම් විස්තර කළේය.


මට සමේ රෝග වැළඳුණා, නමුත් මාස හයක් තිස්සේ ප්‍රතිකාර ලබා දුන් නැහැ. තවමත් මට සිරුරේ පැල්ලම් තිබෙනවා," ඔහු කීවේය.
 ඊශ්‍රායල බලධාරීන් රැඳවියන්ට අයහපත් සැලකිලි දැක්වීම පිළිබඳ චෝදනා කලින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.

නිදහස් කරන ලද ප්‍රධානතම පරිපාලන රැඳවියා වූයේ පලස්තීන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකාවක හා පොපියුලර් ෆ්රන්ට් ෆොර් ද ලිබරේෂන් ඔෆ් පලස්තීන් සංවිධානයේ ප්‍රමුඛ නායිකාවක වන කලිදා ජරාර් (62) ය.

නිදහස් කරන ලද්දන් අතර ගුරුවරුන්, සිසුන් සහ මාධ්‍යවේදීන් ද විය. ඒ අතර රාමල්ලා පදනම් කරගත් වටන් මාධ්‍ය ජාලයේ සංස්කාරක රුලා හසනෙයින් ද සිටියාය. ඇය පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ අවුස්සන සුලු ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා යටතේ හමුදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව මානුෂීය පදනමින් ඇය නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කර තිබිණි. හසනෙයින්ගේ කල් ඉකුත් වීමට පෙර උපන් අසනීප දරුවා එලියා, මවගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු පිරිහී ගොස් තිබුණි. මන්ද ඇය මව්කිරි පමණක් ලබා ගත් දරුවෙකු වූ බැවිනි.

අගෝස්තු මාසයේදී ෆේස්බුක් පිටුවේ ලියූ අවුස්සන සුලු ප්‍රකාශ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජීව විද්‍යාව හා රසායන විද්‍යාව සිසුවියක වන ෂතා ජරාර් (24) ද නිදහස් කරන ලද්දන් අතර විය. ඇය ද සිර මැදිරියේදී දරුණු ලෙස සැලකීමට ලක් වූ බව චෝදනා කරන අතර, ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව සඳහා ඖෂධ ලබා ගැනීම මුරකරුවන් විසින් වැළැක්වූ බව පැවසුවාය.



විදුලි කම්බි වලින් බැඳි විට ඇතිවූ පැල්ලම් තවමත් ඇගේ අත්වල ඇති බව ඇය පැවසුවාය. "ඔවුන් මාව වැසිකිළියේ කැමරාවක් සහ සෙල් කාමරයේ තවත් කැමරාවක් සහිත සිර කුටියක දින තුනක් තැබුවා. එම නිසා වැසිකිළිය භාවිතා කිරීමට නොහැකි වූ බැවින් මම කෑම බීම ගැනීම නතර කළා. ඔවුන් මගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම ප්‍රතික්ෂේප කළා," යැයි ඇය පැවසුවාය.
(ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් වාර්තාව ඇසුරිනි)