
හාලිඇල ඌව කැටවලවත්ත ප්‍රදේශයේ පෙර පාසලක තනිව සිටි පෙර පාසල් පාලිකාවකගේ මුහුණට මිරිස් කුඩු දියරයක් ගසා ඇය පැලඳ සිටි රුපියල් ලක්ෂ තුනක් වටින් තාලි කොඩිය සහිත රන් මාලය කොල්ල කා පලාගිය කාන්තාවන් දෙදෙනෙක් හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පෙර පාසලක් මෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන මෙම ස්ථානයේ පාලිකාව හමුවීමට යැයි කියමින් කාන්තාවක් පෙරේදා (29වැනිදා) උදෑසන 11.30 ට පමණ පැමිණ ඇත. මෙම කාන්තාව පෙර පාසලේ ඔයා තනියමද සිටින්නේ ඇතුළු විවිධ කරුණු විමසා පිටව ගොස් ඇත.
ඉන් මඳ වේලාවකට පසු තවත් කාන්තාවක් සමගින් පෙර පාසලට යළි පැමිණි මෙම කාන්තාව එකවරම පාලිකාවගේ මුහුණට මිරිස් කුඩු දියරයක් ගසා පාලිකාවගේ මුහුණ රෙදි කැබැල්ලකින් වසා බලහත්කාරකමින් පාලිකාවගේ ගෙලෙහි පැලඳ සිටි පවුම් දෙකක බරින් යුත් රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමැති රන් තැල්ල සහිත රන් මාලය පැහැරගෙන ගොස් ඇත.
අනපේක්ෂිතව සිදුවු මෙම සිද්ධියෙන් තැතිගත් පෙර පාසල් පාලිකාව කෑගසා අවට පදිංචිකරුවන් ද ගෙන්වාගෙන ඇතත් සොරකම කළ කාන්තාවන් දෙදෙනාව සොයාගත නොහැකිවී තිබේ.
මේ පිළිබඳව හාලිඇල පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ අනුව කොල්ලකෑම සිදුකළ කාන්තාවන් දෙදෙනා ඌව කැටවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ.
හාලිඇල පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක, පො.සැ.1477 ජයසිංහ, පො.සැ.63265 විජයකුමාර, පො.සැ.38112 ජයසිංහ, පො.කො.3498 රත්නායක යන නිලධාරීන් සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර මොවුන් විසින් කොල්ලකෑ රන් මාලය ද සොයාගෙන තිබේ.
(ටී.අසෝක් කුමාර් - හාලිඇල)
Comments
Post a Comment
Your comment will be visible after approval