train-ticket-smuggler-caught-selling-2000-tickets-for-27500-in-peradeniya

මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන අංශය විසින් ඔඩිසි විශේෂ දුම්රිය ප්‍රවේශපත් අධික මිලට විදේශිකයන්ට විකිණීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයෙක් පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.





මෙම සැකකරු රුපියල් 2,000 බැගින් වටිනා ඔඩිසි දුම්රිය ප්‍රවේශපත් දෙකක් විදේශික සංචාරකයින් දෙදෙනෙකුට රුපියල් 27,500ක අධික මිලකට විකිණීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. මෙම දුම්රිය ප්‍රවේශපත් ඇල්ල, බදුල්ල සහ බණ්ඩාරවෙල සංචාරක ප්‍රදේශ කරා ගමන් කරන විශේෂ ඔඩිසි දුම්රියේ ඒවා බව හඳුනාගෙන ඇත.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහෙයවන ලද විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති ආකාරයට සැකකරු කිසියම් සංචාරක සේවා සමාගමක් සමඟ සම්බන්ධතා පවත්වන බවට සාක්ෂි හමු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා සැකකරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට මහනුවර පොලිසිය කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම මෙම දුම්රිය ප්‍රවේශපත් සැකකරු අතට පත් වූ ආකාරය සහ ඒවා ලබා දුන් පුද්ගලයින් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.



මහනුවර පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙවැනි දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්වල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මහනුවර නගරය තුළ මේ වන විටත් යොදවා ඇති බවයි.

මෙම වැටලීම සිදු කෙරුණේ මෑත කාලයේ විදේශික සංචාරකයින්ගෙන් ලැබෙන පැමිණිලි මත පදනම්වය. විශේෂයෙන්ම උඩරට සංචාරක ප්‍රදේශ වෙත ගමන් කරන ඔඩිසි දුම්රිය ප්‍රවේශපත් සඳහා අධික මිල ගණන් අය කරන ජාවාරම්කරුවන් පිළිබඳව පැමිණිලි රැසක් ලැබී තිබේ.

මෙවැනි ක්‍රියා මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදු වන හානිය සැලකිල්ලට ගනිමින්, මෙම ජාවාරම් මුලිනුපුටා දැමීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව මහනුවර නගරය ආශ්‍රිත ප්‍රධාන දුම්රිය ස්ථාන වල මෙවැනි විශේෂ වැටලීම් ඉදිරියේදීත් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර, සංචාරක සේවා සමාගම් හරහා මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන අංශය විසින් සිදු කරනු ලබයි.