
2024 වසරේදී පැවැති 2023 සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්වෙන අතරතුර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (30 වැනිදා) දන්වා සිටියේය.
නියෝජ්‍ය විභාග කොමසාරිස් ශාන්ත පද්මලාල් ආරියරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලනී එලෙස දන්වා සිටියාය.
2024 වසරේදී පැවැති 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයකු යොදා ගනිමින් විද්‍යාව දෙවැනි (II) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්වෙන කාලය අතරතුර ජංගම දුරකථනය මගින් ඡායාරූප ගතකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා සිටියේය.
එලෙස ලබාගත් ඡායාරූප වටස්අප් මාර්ගයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට පැමිණිල්ලෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවද අධිකරණයට දන්වා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval