tutoring-teacher-arrested-for-giving-alcohol-to-a-student

පැල්මඩුල්ල ප්‍රදේශයේ සිදුවූ බරපතල සිද්ධියක් හේතුවෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සිසුවියක් සමඟ මත්පැන් පානය කර, පසුව ගම්වාසීන්ගේ කෝපයට ලක්වූ ඔහු, පන්ති පවත්වන ගොඩනැගිල්ලේ උඩු මහලින් පැනීමට උත්සහ කර ඇත.



සිද්ධිය පිළිබඳ විමර්ශන කරන පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරන්නේ උසස් පෙළ මාධ්‍ය හා සන්නිවේදන විෂයය උගන්වන මෙම ගුරුවරයා වෙද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. අදාළ සිසුවිය කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය වාර්තා වන්නේ පෙරේදා (26) උදෑසන පැල්මඩුල්ල ඔරලෝසු කණුව අසලදීය. මෝටර් රථයකින් බැස ගිය සිසුවියක අසාමාන්‍ය ලෙස හැසිරෙනු දුටු නගරවාසීන් පිරිසක් ඇය සමීපයට ගොස් විමසීම් කර ඇත. එහිදී සිසුවිය මත්පැන් පානය කර සිටින බව හඳුනාගෙන තිබේ.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු අනුව, උපකාරක පන්ති ගුරුවරයා සහ සිසුවිය උදෑසනම මත්පැන් බෝතලයක භාගයක් පානය කර ඇත. සිසුවියගේ පියා පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තම දියණිය උපකාරක පන්තියට යන බව පවසා උදය හතට පමණ නිවසින් පිටත්ව ගොස් ඇති බවයි. ඔහු වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ ගුරුවරයා තම දියණිය රවටා ඇයට මත්පැන් ලබා දී ඇති බවටයි.

සිද්ධිය වාර්තාවීමත් සමඟ නගරවාසීන් පිරිසක් එක්රැස්ව සිටි අතර,

ඔවුන් ගුරුවරයාට පහර දීමට උත්සහා කර ඇත. මෙම තත්ත්වයෙන් ගැලවීමට උත්සහා කළ ගුරුවරයා පන්ති පවත්වන ගොඩනැගිල්ලේ ඉහළ මහලට දිව ගොස් ඇති අතර, එහි සිට බිමට පැනීමට ද උත්සහා කර තිබේ. පැල්මඩුල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මැදිහත්ව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට පත් ගුරුවරයා පවසා ඇත්තේ තමා කිසිදු වරදක් නොකළ බවත්, මානසිකව අසරණව සිටි සිසුවියකට උපකාර කිරීමට පමණක් උත්සහා කළ බවත්ය. කෙසේ වෙතත්, පොලිසිය දැනට සිසුවියට බලහත්කාරයෙන් මත්පැන් පානය කිරීමට සැලැස්වූවාද යන්න පිළිබඳව විමර්ශන පවත්වයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සාක්ෂි ලැබී ඇත්තේ රත්නපුර-බලන්ගොඩ මාර්ගයේදී මෙම දෙදෙනා එකම මෝටර් රථයක ගමන් කරනු ගම්වාසීන් දැක ඇති බවටයි. එදින උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ උපකාරක පන්තියට අදාළ සිසුවිය ද පැමිණ සිටි බව වාර්තා වේ.



ගුරුවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ විශාල පිරිසක් පොලිස් ස්ථානය වට කර ගෙන සිටි අතර, මෙවැනි ගුරුවරුන්ගෙන් දරුවන් ආරක්ෂා කර දෙන ලෙස ඔවුහු පොලිසියෙන් ඉල්ලා සිටියහ.

දැනට සැකකරු වන ගුරුවරයා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී. වයස අවුරුදු 19ක් වන අදාළ සිසුවිය තවමත් කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.