
ස්විට්සර්ලන්තයේ සොලොතුර්න් (Solothurn) ප්‍රාන්තයේ සුරාසැලක සිදු කළ සොරකමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකක අවුරුදු 16ක පිරිමි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු සෙනසුරාදා (25) අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලිස් වෙබ් අඩවි වාර්තාවක සඳහන් වේ.
සෙනසුරාදා සවස 7:30ට පමණ ඔල්ටන් (Olten) නගරයේ කෝස්කර්ස්ට් (Gösgerstrasse) මාවතේ පිහිටි වසා දමා තිබූ සුරාසැල අසල නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සැක සහිත ලෙස සැරිසරනු දුටු ප්‍රදේශවාසියෙකු සොලොතුර්න් පොලිස් ස්ථානයට දැනුම් දී ඇත.
මෙම තොරතුර මත ක්‍රියා කළ පොලීසිය ඔල්ටන් ප්‍රධාන දුම්රිය ස්ථානය හා ඒ අවට ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයින් දෙදෙනා නතර කර පරීක්ෂා කිරීමේදී ඔවුන් සොරකමක නිරත වී ඇති බව හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අතර ශ්‍රී ලාංකික ජාතික අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ එරිත්‍රියානු ජාතික අවුරුදු 15ක ළමයෙකු සිටින බව පොලීසිය තහවුරු කර ඇත.
සුරාසැල බිඳ සොරකම් කර තිබූ භාණ්ඩ කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන සිටින බව පොලිස් නිලධාරීන් පවසා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති අතර, සැකකරුවන්ගේ පසුබිම සහ ඔවුන් මෙම ප්‍රදේශයට පැමිණි ආකාරය පිළිබඳව ද විමර්ශන පැවැත්වෙමින් පවතී.
ස්විට්සර්ලන්තයේ නීති රීති අනුව අපරාධ ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතර, විශේෂයෙන් අවිධිමත් ලෙස රට තුළ රැඳී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනු ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval