colombo-school-teacher-arrested-for-abusing-student-in-the-name-of-religion

ප්‍රසිද්ධ පාසලක 16 හැවිරිදි සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට මුහුණ දී සිටින ගුරුවරියක් විදේශ ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් නිමාලි මන්ත්‍රීනායක මහත්මිය විසින් සැකකාරිය ජනවාරි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.



මෙම සිද්ධියේ සැකකාරිය මොරටුව කල්දමුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවක් වන අතර, ඇය කොළඹ පිහිටි ප්‍රසිද්ධ පාසලක ආගම විෂය උගන්වන ගුරුවරියක් ලෙස සේවය කර ඇත. චෝදනාවලට අනුව, ඇය ආගම ඉගැන්වීමේ නමින් තම නිවසේ පවත්වන අමතර පන්තියට කැඳවා ගෙන සිසුවියට විවිධ වීඩියෝ දර්ශන පෙන්වා බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇති බව පොලීසිය අධිකරණයට වාර්තා කර තිබේ.



පොලිස් සැරයන්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙවැනි පහත් මානසිකත්වයකින් පෙළෙන ගුරුවරුන් අතින් දරුවන් දිගින් දිගටම අපයෝජනයට ලක්වන සිද්ධීන් වාර්තා වන බවත්, මේ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බවත් පෙන්වා දී ඇත.

විමර්ශන වාර්තාවලට අනුව, අපයෝජනයට ලක්වූ සිසුවිය තම දෙමාපියන් සමඟ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණ පැමිණිල්ලක් ගොනු කර ඇත. මෙම පැමිණිල්ල ජනවාරි 7 වන දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව, සැකකාර ගුරුවරිය ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා විසින් සැකකාරිය පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වීමටත්, ඇයගේ විදේශ ගමන් තහනම් කර ඒ පිළිබඳව ආගමන විගමන පාලක වෙත දැනුම් දීමටත් නියෝග කර තිබුණි. එහෙත් සැකකාරිය දැනටමත් විදේශගතව සිට ඇති අතර,

ජනවාරි 17 වන දින ආපසු මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දිගටම සිදු කෙරෙන අතර, අධිකරණය විසින් ජනවාරි 24 වන දින නැවත විභාගයට ගැනීමට නියමිතය.