
අනුරාධපුර තඹුත්තේගම, හූරීගස්වැව ප්‍රදේශයේදී කොස් ගසක අත්තක් කැපීමට ගොස් විදුලි සර වැදී 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ දිනයේදී මියගොස් ඇත. මෙම කනගාටුදායක සිදුවීම වාර්තා වන්නේ දේශගුණික තත්ත්වයන් අයහපත් අතට හැරී තිබෙන මෙවන් කාලයකය.
මියගිය සිසුවා වන වයි.ජී. චලක්ශන ඉදුසර විජේරත්න, අනුරාධපුර මකුලෑව ජාතික පාසලේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දක්ෂ සිසුවෙකි. ඔහු සුදර්ශනගම, මකුලෑව ලිපිනයේ පදිංචිව සිටි අතර, මෙම අවාසනාවන්ත සිදුවීම විශ්‍රාමික විදුහල්පතිවරයෙකුගේ ඉඩමක සිදුවී ඇත.
සිදුවීම පිළිබඳව මියගිය දරුවාගේ මව කඳුළු සලමින් මෙසේ සිය වේදනාව පළ කළාය: "මම පුතාට කිව්වා මේ වැස්සේ ගස් කපන්න යන්න එපා කියලා. අපේ අම්මයි පොඩි පුතයි එක්ක තමා ලොකු පුතා උදේ ඔය ගමන ගියේ. අනිත් පුතාටත් යන්න එපා කියා මම ගැහුවා. ඒත් එයත් ගියා. එයාලා ගිහින් ටික වෙලාවකින් ආරංචි වුණා ලොකු පුතාට ගහක අත්තක් කපන්න ගිහින් කරන්ට් එක වැදිලා කියලා."
මව තවදුරටත් පැවසූ අන්දමට ඇයට දරුවන් පස්දෙනෙකු සිටින අතර, මියගිය චලක්ශන ඇගේ වැඩිමල් පුතා වූ බවයි. උදෑසන නවය හමාරට පමණ නිවසින් පිටත්ව ගිය දරුවා, පසුව විදුලි සර වැදී රෝහල් ගත කිරීමේදී මියගොස් ඇත.
මියගිය දරුවාගේ ලොකු අම්මා සිදුවීම පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කරමින් පැවසුවේ, "මේ ගමේම පාර අයිනේ ගෙදරක කොස් ගහක අතු කපන්න තමයි පුතා ගිහින් තියෙන්නේ. ඒ ගෙදර අය කියනවා ගහට නඟින්න එපා කියා කිව්වා කියලා. එයත් එක්ක තව පොඩි පුතත් ගියා. එයා පවුලේ දෙවෙනියා. එයා කියනවා 'ඒ ගහේ ඉඳලා කොටන්න පටන් ගත්තේ කියලා. ඒ ගෙදර අයම තමයි පිහිය දුන්නේ ගහට නඟින්න කියලා.'"
පොලිස් වාර්තා අනුව, කොස් ගස අසලින් දිවෙන විදුලි රැහැනක අත්තක් පැටලී විදුලි සර වැදීමෙන් දරුවා අඩි දොළහක් පමණ උසකින් බිමට වැටී ඇත. සිදුවීමෙන් පසු දරුවා රෝහල් ගත කිරීමට ප්‍රමාදයක් සිදුවී ඇති බවත්, ඉක්මනින් රෝහල් ගත කළා නම් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබූ බවත් පවුලේ සාමාජිකයෝ පවසති.
මියගිය දරුවාගේ ලොකු අම්මා තවදුරටත් පැවසුවේ, "මේ වගේ පොඩි අයගෙන් වැඩ ගන්න එක හරි නෑ. මේ දවස්වල හොඳටම වැස්ස. ගසුත් ලිස්සනවා. අනිත් එක ප්‍රධාන පාර අයිනේ ලොකු කරන්ට් ලයින් එකක් යනවා. ඒකට තමයි කපපු අත්ත ගෑවිලා තියෙන්නේ." ඇය මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වන බවද පැවසුවාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වැළැක්වීම සඳහා දරුවන් සම්බන්ධ වන අවදානම් සහගත ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
Comments
Post a Comment
Your comment will be visible after approval