මෙවර 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිටවීමත් සමග බොහෝ පාඨකයින් ප්‍රවෘත්ති මාධ්‍ය දෙස නෙත් යොමා සිටියේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් හා ඔවුනගේ පාසල් ආදී විස්තර දැනගන්නටය.  අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාගකොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්ර මහතා පැහැදිලි කළේ. වැඩිම ලකුනු ගත් කෙනා ලබාගත්තේ 188 ක් බවය.


ඒ අනුව එම ලකුණු ප්‍රමාණය සහිත සිසුවියක සම්බන්ධ විස්තර ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කර තිබෙයි.


හොරණ රාජකීය විද්‍යාලයේ මිසන්ධි යෙවින්යා සිසුවිය මෙවර ශිෂ්‍යත්ව විබාගයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වෙමින් වැඩිම ලකුණු 188 ලබාගෙන ඇත.
රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා දියණිය හොරණ මුණගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටින අතර සිසුවියගේ පියා වන දිළුම් මදුරංග මහතා ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඇගේ මෑණියන් වන සජානා නේපාලි මහත්මිය ද දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශාල කැපවීමක් දරා ඇති බව පැවසේ.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිටුපස පාසල් ප්‍රජාවගේ සාමූහික වෑයම ඉතා වැදගත් වී ඇති අතර, විශේෂයෙන්ම හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ මඟපෙන්වීම හා නායකත්වය යටතේ, පන්ති භාර ගුරුවරිය වන මානෙල් අමරතුංග මහත්මියගේ අඛණ්ඩ මැදිහත්වීම සහ සමස්ත ගුරු මණ්ඩලයේ කැපවීම මෙම ජයග්‍රහණයේ ප්‍රධාන සාධක වී තිබේ.

මිසන්ධි යෙවින්යා සිසුවිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්,

තම ජයග්‍රහණය සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් සහ දෙමාපියන්ගේ නිරන්තර මඟපෙන්වීම හා සහාය ඉමහත් පිටුවහලක් වූ බව කෘතවේදීව සිහිපත් කළාය. විශේෂයෙන්ම පන්ති භාර ගුරුවරිය වන මානෙල් අමරතුංග මහත්මියගේ කැපවීම ඇය විශේෂයෙන් අගය කළාය.

මෙම ජයග්‍රහණය හොරණ රාජකීය ජාතික පාසලේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය පාසලේ අධ්‍යාපන ප්‍රමිතීන්හි උසස් බව තහවුරු කරන සාක්ෂියක් ලෙස සැලකේ. මෙම ජයග්‍රහණය තුළින් ග්‍රාමීය පාසල්වල සිසු දරුවන්ට ද දිවයිනේ ඉහළම අධ්‍යාපන සාඵල්‍යතා ළඟා කර ගත හැකි බව තහවුරු වී තිබේ.
වර්ෂ 1978 රයිගම් පුරවරයේ අතිශයින්ම සුන්දර නර්තනගල කදු පාමුල පරිසරයක රාජකීය විද්‍යාලය ස්ථාපිත විය.සුන්දර පරිසරයක් හිමි මෙම පාසල 2000 වසරෙදි ජාතික පාසලක් බවට පත්විය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථමයා බිහිකිරීමට මෙම පාසල සමත් විය.
වැඩිම ලකුණු ලබාගත් 186-188 අතර 18 දෙනෙක් සිටින අතර පිරිමි දරුවන් 11 ක් හා ගැහැණු දරුවන් 07 ක් ලෙස සිටින බව කොමසාරිස් වරයා ‍හෙළි කර තිබේ.