
මෙවර 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිටවීමත් සමග බොහෝ පාඨකයින් ප්‍රවෘත්ති මාධ්‍ය දෙස නෙත් යොමා සිටියේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් හා ඔවුනගේ පාසල් ආදී විස්තර දැනගන්නටය. නමුත් මින් ඉහත ලබාගෙන තිබූ තීරණයක් මත කුඩා දරුවන් මානසික පීඩාවට පත් නොකරන ප්‍රතිපත්තිය යටතේ 5 ශිෂ්‍යත්වේ පළමුවැනියන් දෙවැනියන් නිල වශයෙන් නම් නොකරන්නට විභාග කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මෙවර පුද්ගලිකව ලබාගන්නා ප්‍රතිඵල සටහනේද අහවලා දිස්ත්‍රික් ප්‍රථමයා යන්න හෝ දිවයිනේ ප්‍රථමයා යන්න හඳුනාගතහැකි දත්ත ඉදිරිපත් කර නැත.
මෙම කාරණාව ගැන අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කළේය. වැඩිම ලකුනු 188 ක් බව හා වැඩිම ලකුණු ලබාගත් 18 අතරින් 11 ක් පිරිමි හා 7 ක් ගැහැනු යන්න පමණක් ඔහු හෙළි කළේය.
"වැඩිම ලකුණු ලබාගත් 186-188 අතර 18 දෙනෙක් ඉන්නවා. ඒ අය පිරිමි දරුවන් 11 ක් හා ගැහැණු දරුවන් 07 ක් ලෙස වෙනවා.
මෙවර අපි ප්‍රතිපත්තියක් හැටියට මේ දරුවන්ගේ වැඩිම ලකුණු ගත්තු දරුවන් පිළිබඳ ප්‍රකාශයට පත්කිරීමක් කරන්නෙ නැහැ. මේ සඳහා ලොකූ බලාපොරොත්තු තියාගත්ත දරුවන් විශාල සංඛ්‍යාවක් ඇති.. ඒ දරුවන්ගේ යම් කිසි මානසික බිඳවැටීමක් ඇතිවන්නට පුළුවන්. ලකුණු 188 ක් තමයි මෙවර දිවයිනේ වැඩිම ලකුණ ලබාගත් දරුවා යයි පමණක් මට කිව හැකියි.
මෙවර ප්‍රශ්න පත්‍ර ගැටලුව නිසා සෑම දරුවෙකුටම ලකුණු 8 ක් ඉබේම ලැබුණා.වැඩිම ලකුණු ලබාගත් අයටත් ඒකෙ බලපෑමක් නැහැ. ඒත් මෙවර 190 ගණං වලට ලකුනු ගිහින් නැහැ. වැඩිම ලකුණු අගයන්ගේ අඩුවක් තිබෙනවා."
කෙසේ වෙතත් ප්‍රකට 5 ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු ඇගේ පන්තිවලට සහභාගීවන අය ලබාගත් ප්‍රතිඵල ප්‍රසිද්ධ කර තිබෙන අතර එහි 187 ක් ලබාගත් හම්බන්තොට මිනුකි සන්දෙසා ගැනද 186 ක් ලබාගත් පුත්තලමේ පියුමාලි විමලවීර ගැනද ඇය සටහන් තබා ඇත.
