
රුපියල් ලක්ෂ ගණනක මුදලක් අයථා ලෙස උපයා ගත් බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකුගේ හා ඔහුගේ බිරිඳගේ නමින් කොළඹ පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ඒකාබද්ධ ගිණුමක් හා තවත් ව්‍යාපාරිකයකුගේ නමින් එක්තරා රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යනු ලබන ස්ථාවර බැංකු ගිණුම් දෙකක තැන්පත් කර ඇති මුදල් මාස තුනක කාලයකට අත්හිටුවමින් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (16දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ පැවරී ඇති බලතල අනුව තම කොමිෂන් සභාව විසින් එකී බැංකු ගිණුම් දින හතකට තහනම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් වී නොමැති බවත් පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපළ උපයා ගැනීමේ විමර්ශන අංශය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය.
හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එච්.ජී. චන්න රෝහිත, ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලි ප්‍රියංකා පෙරේරා යන දෙදෙනාගේ සහ දසනායක මුදියන්සේලාගේ ධර්මරත්න බණ්ඩා නමැති ව්‍යාපාරිකයාගේ නමින් පවත්වාගෙන යන ස්ථාවර ගිණුම් දෙකක් එලෙස ලබන මාර්තු 16 වැනිදා දක්වා තහනමට ලක්කෙරිණි. තම අධිකරණයේ එකී නියෝගය වහාම අදාළ බැංකු වෙත යැවීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක
Comments
Post a Comment
Your comment will be visible after approval