
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් නීති විරෝධී ලෙස එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් ඊජ් වර්ගයේ වාහනයක් පොල්ගස්ඕවිට පිහිටි වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් නොවැම්බර් 30 වන දින සොයා ගැනීමට සමත් වී ඇත. මෙම සොයා ගැනීම සිදු වූයේ බස්නාහිර පළාත් බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරක් මත පදනම්වය.
වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයේ හිමිකරුගේ ප්‍රකාශයට අනුව, වසර එකහමාරකට පමණ පෙර මහරගම පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ලෑන්ඩ් රෝවර් වාහනයක චැසිය, ටයර් හතරක් සහ පැරණි එන්ජිමක් ගෙනවිත් දී ඇත.
ඉන්පසුව කාලානුරූපව වාහනය සැකසීම සඳහා අවශ්‍ය කොටස් රැගෙන එන ලද අතර, මාරවිල ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ දහහතර හමාරක් වැය කර එන්ජිමක් මිලදී ගෙන එය වාහනයට සවි කර ඇත.
තවද, වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයේ හිමිකරු විසින් එම වාහනයේ ලියාපදිංචි සහතිකයේ ඡායාරූපයක් ජංගම දුරකතනයක සටහන්ව තිබී ඉදිරිපත් කර ඇති අතර, එහි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නම හා ලිපිනය සඳහන්ව තිබී ඇත. මේ සම්බන්ධයෙන් ගරාජ් සේවකයාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇත.
මූලික විමර්ශනවලින් හෙළි වූ පරිදි, වාහනයේ කොටස් සැපයූ හිමිකරුවන්ට දෙසැම්බර් 2 වන දින ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණෙන ලෙස පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පවසා ඇත. වැඩිදුර විමර්ශන සඳහා මෙම වාහනය කැස්බෑව පොලිසිය වෙත භාර දී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval