
කලක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පිය පුතු දෙපළක් ඇතුළු තිදෙනකු අයිස් මිලිග්‍රෑම් එකොළොස්දහස් එකසිය පනහක්සහ ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරගහහේන කුඹුක ඇටඹගහහේන පාරේ පදිංචි, පියා (52), පුතා (35) සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
කුඹුක ඇටඹගහහේන පාර ප්‍රදේශයේ නිවෙසක මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පිය පුතු දෙපළක් පිළිබඳව කොට්ඨාස බුද්ධි අංශයේ වන්නිනායක (91214) නිලධාරියාට තොරතුරක් ලැබී තිබුණි.ඒ අනුව, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් (13428) සම්පත් මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් නිවෙස වටලා පරීක්ෂා කිරීමේදී එහි රැඳී සිටි සැකකාර 35 හැවිරිදි පුද්ගලයා සන්තකයේ අයිස් මිලිග්‍රෑම් 6,150ක්, ඉලෙක්ට්‍රොනික තරාදියක් හා මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා භාවිත කරන ඉටිකොළ තොගයක් තිබී පොලිසිය සොයාගෙන තිබේ.
ඒ අනුව, නිවෙසේ රැඳී සිටි 52 හැවිරිදි පුද්ගලයාව ද පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඉනේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,300ක කුඩා පැකට් 9ක් හමු වී තිබේ.
පසුව මොවුන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පිය පුතු දෙපළ බවට අනාවරණය වීමෙන් පසුව තවදුරටත් ප්‍රශ්න කොට මරදාන ප්‍රදේශයේ සිට ඔවුන්ට මත්ද්‍රව්‍ය ගෙනැවිත් දෙන පුද්ගලයා ත්‍රිරෝද රථයක් සමග වීදියගොඩ ප්‍රදේශයේ අධිවේගි ගුවන් පාලමක් අසල රැඳී සිටියදී අයිස් මිලිග්‍රෑම් 2,700ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිය පුතු දෙපළ මීට පෙර අවස්ථා තුනකදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වූ දෙදෙනකු බව පැවැසේ. අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරු හරහා මෙම මත්ද්‍රව්‍ය මොරගහහේන, හොරණ, කිරිඇල්ල, ඇහැලියගොඩ යන ප්‍රදේශවලට මහා පරිමාණයෙන් අලෙවි කර ඇති බව පැවැසේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )