harshana-nanayakkara-cid

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස්  පැමිණිල්ලක් ගොනු කර තිබේ.


තමන්ගේ කීර්ති නාමය පළුදු කිරීමේ අටියෙන් කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් තමන් කිසිවිට භාවිතයට නොගත් 'ආචාර්ය' පට්ටමක් තම නම ඉදිරියට යොදා හැඳින්වීම නිසා තමන් විශාල අපහසුතාවයකට ලක්වූ බවත් එම ව්‍යාජ හැඳන්වීම කිසිවෙකුගේ වැඩක් බවට සැකකරන බවත් එම අය කවුදැයි සොයා බලන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.



අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැමිණිල්ල දැමීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ සිටි මාධ්‍ය කණ්ඩායම් අමතා කියා සිටියේ, තමන්ගේ නම වැරදියට යෙදවූ පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කළ සන්නිවේදන දෙපාර්තමේන්තුව  13 වැනිදා සමාව ඉල්ලා ලිපියක් යොමු කර ඇති බව සහ පුවත්පත් මාධ්‍ය මගින් තමන්ගේ නම ඉදිරියේ කළ වැරදි හැඳින්වීම නිවැරදි කර ඒ ගැන ප්‍රසිද්ධිය ලබාදී ඇති බවය.

ඔහු පාර්ලිමේන්තු කාර්යාලයට හෝ පුවත්පත් වලට දොස් නැගුවේ නැති අතර ඔහු කියා සිටියේ මෙම වැරදි හැඳින්වීම නිසා සමාජ මාධ්‍ය තුළ දින 3 ක් පමණ තිස්සේ තමන්ගේ නමට විශාල මඩ ප්‍රචාර දියත්වූ බවකි.

තමන් කිසිදු අවස්ථාවක කිසිම කටයුත්තකදී හඳුන්වා නොගත් 'ආචාර්ය' නාමයක් හිතාමතා කිසිවෙකු විසින් නම ඉදිරියට යොදා අපහසුතාවයක් නිර්මාණය කළ බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.


එබැවින් සාධාරණව සැලකීමේදී මෙම වැරදි හැඳින්වීම කර තමන් අනවශ්‍ය අපහසුතාවයකට පත්කළ පුද්ගලයා සොයාගැනීම අවශ්‍ය බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිට ඉල්ලා සිටි බව ඔහු කීය.