
පියා විසින් කැපු කොට්ට ගසකට යට වී 13 හැවිරිදි දරුවකු පෙරේදා (11 වැනිදා) මියගොස් ඇතැයි ගොඩකවෙල පොලිසිය පැවැසීය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ රංවල, වෙළෙගෙපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි.
සිද්ධිය සිදුවූ දින සවස නිවසට අනතුරුදායක තත්ත්වයක පැවැති කොට්ට ගස පියා සහ බාප්පා එක්ව කපා දමා ඔවුන් දෙදෙනා විසින් කඹයක ආධාරයෙන් එය පහළට අදිමින් සිට ඇත. ඒ අතර උණ රෝගයට ගොදුරුව නිවසේ සිටි මියගිය දරුවා ගස කපන ශබ්දය ඇසී ඒ දෙසට පැමිණ ඇතත් ඔහු පැමිණි බව නොදත් පියා සහ බාප්පා ගස ඔවුන් දෙසට වැටෙන බව දැන කඹය අතහැර වෙනතකට දිවගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.
බිමට පතිත වූ ගසේ අත්තක් මියගිය සිසුවාගේ හිසේ වැදී ඔහු ඊට යටවි බරපතළ තුවාල සිදු වී ඇති බව දැනගත් පසු ඥාතීන් විසින් තුවාල ලැබූ දරුවා ගොඩකවෙල රෝහලට ඇතුළත් කර ඇත. එහෙත් රෝහලට ගෙන එන විටත් දරුවා මිය ගොස් සිටි බවද පොලිසිය කීවේය.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්විම සඳහා දේහය ඊයේ (12 වැනිදා) කහවත්ත මූලික රෝහල වෙත යොමු කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එන්. ආර්. විජේසිරි, පොලිස් සැරයන් තේමිය (60042), චන්ද්‍රපාල (56011) යන පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
(ඉන්දික වික්‍රමආරච්චී - රක්වාන සම්පත් ප්‍රියනන්දන - බලන්ගොඩ)
Comments
Post a Comment
Your comment will be visible after approval