Bollywood-stars-meet-Modi-for-King-Kapoor's-centenary-celebrations

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් කපූර්ගේ ශත සංවත්සර සැමරුම් උළෙල වෙනුවෙන් පසුගිය සතියේ සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්, රන්බීර් කපූර්, ආලියා භට්, රිද්මා කපූර් සහ්නි, නීතු කපූර්, කරිස්මා කපූර් ඇතුළු පිරිසක් ඉන්දීය අගමැති මෝදි හමුවට ගොස් තිබිණි.



රාජ් කපූර්ගේ උරුමය සැමරීම වෙනුවෙන් ආර්.කේ. ෆිල්ම්ස්, ෆිල්ම් හෙරිටේජ් පදනම සහ ඉන්දීය ජාතික චිත්‍රපට සංරක්ෂණ අධිකාරිය විසින් චිත්‍රපට උළෙලක් සංවිධානය කර ඇති අතර, එයට සහභාගී වන ලෙස අගමැතිවරයාට ආරාධනා කිරීම සඳහා කපූර් පවුලේ සාමාජිකයෝ දිල්ලි නගරයට ගොස් තිබේ.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් සයිෆ් අලි ඛාන් කියා සිටියේ ඔවුන් ගිය දින පුරා පාර්ලිමේන්තුවේ කටයුතුවල නිරතව සිටි අගමැතිවරයා මහත් උනන්දුවකින් හා කාරුණික බවකින් යුතුව තමන් පිළිගත් බවයි.

"කරීනා, කරිස්මා සහ රන්බීර් හරහා මටත් මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම සතුටක්. රාජ් සාහබ්ගේ ශත සංවත්සරය වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීම පවුලට ලැබුණු විශාල ගෞරවයක්" යැයි සයිෆ් පැවසීය.



තම දරුවන් වන තයිමූර් සහ ජෙහාන්ගීර් ගැනද අගමැතිවරයා විමසා තිබේ. "මගේ දෙමාපියන් ගැන තනි තනිව විමසූ අගමැතිතුමා, තයිමූර් සහ ජෙහාන්ගීර්ව හමුවීමට බලාපොරොත්තු වූ බවත් පැවසුවා. කරීනා ඉල්ලූ ලියවිල්ලකට ඔවුන් වෙනුවෙන් අත්සන් කළා," යැයි සයිෆ් තවදුරටත් සඳහන් කළේය.

දිනකට පැය තුනක පමණ නින්දක් ලබාගන්නා බව පැවසූ අගමැතිවරයා රට පාලනය කරන අතරතුර මෙවැනි සමාජ සබඳතා පවත්වාගෙන යාමට උත්සාහ දරන බවද සයිෆ් පෙන්වා දී තිබේ.

දෙසැම්බර් 13 සිට 15 දක්වා ඉන්දියාවේ නගර 40ක සිනමාහල් 135ක රාජ් කපූර්ගේ චිත්‍රපට දහයක් ප්‍රදර්ශනය කර ශත් සංවත්සරය සමරනු ලැබිණි.