Speaker-Asoka-Ranwalas-PhD-degree-sparks-debate

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සාමාජික නාමාවලියෙන් "ආචාර්ය" යන උපාධිය ඉවත් කිරීමත් සමඟ කථානායක අසෝක සපුමල් රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විවාදය උත්සන්න වී තිබේ. පෙර "ආචාර්ය අසෝක රන්වල" ලෙස සඳහන්ව තිබූ නම දැන් "අසෝක රන්වල මන්ත්‍රී" ලෙස දක්වා ඇති අතර, එමගින් ඔහු කියන ආචාර්ය උපාධියේ නීත්‍යානුකූලභාවය පිළිබඳ  තවදුරටත් සැක ඇති කර තිබේ.



පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පළමු වරට පත්වූ රන්වල, තම මංගල පාර්ලිමේන්තු සැසිවාරයේදීම කථානායක ධුරයට පත් කෙරිණි. ඔහුගේ LinkedIn ප්‍රොෆයිලය අනුව, ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් රසායනික ඉංජිනේරු උපාධිය ලබා ඇත. ඔහු ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති බවත්,

තිරසාර කෘෂිකාර්මික භාවිතයන් කෙරෙහි අවධානය යොමු කරන බයෝජෙනික් ග්‍රීන් ටෙක්නොලොජි රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ බවත් පවසයි.

වෘත්තීය වශයෙන්, රන්වල මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ සාපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තනතුරු දරා ඇත.  ඔහු ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙසද කටයුතු කරමින් සිටි අයෙකි. දේශපාලනික වශයෙන්, රන්වල මහතා බියගම පළාත් පාලන ආයතනයේ සහ බස්නාහිර පළාත් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමාර කළුආරච්චි මහතා Facebook පොස්ටුවක් මගින් රන්වල මහතාගේ ආචාර්ය උපාධියේ සත්‍යතාව ප්‍රශ්න කිරීමත් සමඟ ඔහුගේ සුදුසුකම් සම්බන්ධ මෙම විවාදය ආරම්භ විය. මෙය සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ අතර, බොහෝ දෙනා කථානායකවරයාගෙන් ඔහුගේ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියහ.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, රන්වල මහතාට ඔහුගේ ආචාර්ය උපාධියේ නීත්‍යානුකූලභාවය ඔප්පු කරන ලෙස ප්‍රසිද්ධියේ අභියෝග කළේය.

තදින් ලියන ලද Facebook පොස්ටුවක් මගින්, දේශප්‍රිය මහතා සාක්ෂි ඉදිරිපත් කිරීමට අසමත් වන්නේ නම් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි අතර, ජාතික ජන බලවේගයට (NPP) මැදිහත් වන ලෙස ද ඉල්ලා සිටියේය.

රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් විස්තර කර තිබූ ඔහුගේ LinkedIn ප්‍රොෆයිලය ඒ සමග අතුරුදන් විය.
එලෙස එය අක්‍රිය කිරීමත් සමඟ විවාදය තවත් ගැඹුරු විය. කලින් "ආචාර්ය අසෝක රන්වල" ලෙස සඳහන් කර තිබූ ඔහුගේ විකිපීඩියා පිටුව ද සංස්කරණය කර එම උපාධිය ඉවත් කරන්නට කටයුතු කර තිබූ අතර එහි සටහන් වූයේ ඔහු ඩිප්ලෝමාධාරියෙකු පමණක් බවයි.

චෝදනා එල්ල වෙද්දී, රන්වල මහතාගේ පාර්ශ්වය නිහඩවීම ගැටලුකාරී විය. ඔහු තම සුදුසුකම් සනාථ කිරීමට විධිමත් ලේඛන ඉදිරිපත් කරේ නැත.

මාධ්‍ය අමතමින් ඔහු තමන් නීත්‍යානුකූල ආචාර්ය උපාධියක් දරන බව අවධාරණය කළ අතර, තමා අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවට විවේචකයින්ට චෝදනා කළේය.

පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඔහුගේ ප්‍රොෆයිලයෙන් "ආචාර්ය" යන උපාධිය ඉවත් කර ඇති නමුත්, පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනවල තවමත් ඔහු "ආචාර්ය අසෝක රන්වල" ලෙස හඳුන්වා ඇති බව සැලකිය යුතුය.

සුදුසුකම් අවභාවිතා කිරීම පිළිබඳ චෝදනා මත රන්වල මහතාගේ ඉල්ලා අස්වීම සඳහා වන මහජන ඉල්ලීම් තවදුරටත් පවතී. කෙසේ වෙතත්, රන්වල මහතා හෝ රජය නිල පැහැදිලි කිරීමක් තවම කර නැත.