
පාසලේ දී පහර දී අව්වේ දණ ගස්වා සිටියදී දැඩි ලෙස රෝගාතුරව මාස තුනක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 16ක සිසුවියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නජපුව මාටින් ද පෝරස් විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනෙකු පසුගියදා (14) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාටින් ද පෝරස් මාවතේ පදිංචි පනස් හත් හැවිරිදි ගුරුවරියක හා ලුණුවිල කිරිමැටියාන ප්‍රදේශයේ 39 හැවිරිදි ගුරුවරියකි.
මෙසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව එඩ්වඩ් ජෝසප් මාවතේ කේ. එම්. රමේයා දිනිති (16) නමැති සිසුවියකි.
උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සිසුවිය මියයාමෙන් පසු තොරතුරු වාර්තාවක් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
ඉදිරිපත් කර ලබාගත් අධිකරණ නියෝගයක් මත මෙම ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව වෙන්නපුව මුලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
පසුගිය අගෝස්තු නමවැනිදා මෙම සිසුවියට සහ තවත් සිසුවියකට විනය හේතුන් මතයැයි කියමින් අතින් පහර දීමක් කර පසුව පාසල් පිට්ටනියේ තණකොළ ගැලවීමට සලස්වා අව්වේ දණගස්වා තිබූ බවට එම සිද්ධිය වූ වකවානුවේම පොලිසියට තොරතුරු ලැබී තිබිණියැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වකවානුවේම මෙම ගුරුවරියෝ දෙදෙනා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර පසුව ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
මාස තුනක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ මෙම සිසුවිය මියයන තෙක්ම සිහිසුන්ව සිටි නිසා ඇයගෙන් ප්‍රකාශයක් ද ලබා ගැනීමට නොහැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval