
බ්‍රහස්පතින්දා රාත්‍රියේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර යොහාන් ක්‍රයිෆ් ක්‍රීඩාංගණය ඉදිරිපිට යුරෝපා ලීග් පාපන්දු තරඟයකට පෙර සහ පසු ඊශ්‍රායලය නියෝජනය කරමින් පැමිණි 'මකාබි තෙල් අවිව්' කණ්ඩායමේ ආධාරකරුවන් හා පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් යැයි සැක කෙරෙන පිරිසක් අතර ගැටුම් ඇති වූ විදෙස්
මාධ්‍ය වාර්තා කරයි.ඊශ්‍රායල පාපන්දු සමාජයේ ආධාරකරුවන් හා විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවිය හැකි බවට බියෙන් ඇම්ස්ටර්ඩෑම් නගරාධිපති ෆෙම්කේ හල්සෙමා විසින් පලස්තීන හිතවාදී විරෝධතා තහනම් කර තිබියදී මෙම ගැටුම් හටගෙන ඇත.
සිදුවීම් පිළිබඳ විස්තර තවමත් පැහැදිලි නොවුනද, ඇම්ස්ටර්ඩෑම් හි ඊශ්‍රායල පුරවැසියන්ට එල්ල වූ "ඉතා ප්‍රචණ්ඩ සිදුවීමක" විස්තර පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහූ දැනුවත් කර ඇති බව සිකුරාදා ඔහුගේ කාර්යාලය විදෙස් මාධ්‍ය වෙත පැවසීය.
එහි සිටින පුරවැසියන්ට සහාය වීම සඳහා වහාම ගුවන් යානා දෙකක් යැවීමට ඔහු උපදෙස් දී ඇති බව ප්‍රකාශයක සඳහන් විය.
ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ද පහරදීම්වලින් පසු ඇම්ස්ටර්ඩෑම් හි සිටින සිය පුරවැසියන්ට ඔවුන්ගේ හෝටල් කාමරවල රැඳී සිටින ලෙස උපදෙස් දී ඇති බව අගමැති කාර්යාලය දෙවන ප්‍රකාශයකින් පැවසීය.
"පාපන්දු තරඟයක් නැරඹීමට ගිය ආධාරකරුවන්ට, හුදෙක් ඔවුන්ගේ යුදෙව් හා ඊශ්‍රායල ජාතිකත්වය නිසා යුදෙව් විරෝධයට මුහුණ දීමට සිදුවී සිතාගත නොහැකි කෲරත්වයකින් පහර දී තිබෙනවා," යැයි ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඉතමාර් බෙන්-ග්විර් X හි පළ කළ සටහනක සඳහන් කළේය.
නෙතන්යාහූ මේ පිළිබඳව තම නෙදර්ලන්ත සගයා සමඟ ද සාකච්ඡා කළ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායල පුරවැසියන්ට ආරක්ෂිතව ගුවන් තොටුපළ වෙත ළඟා වීමට සහාය වන ලෙස ඊශ්‍රායල විදේශ ඇමති ගිඩියන් සාර් සිකුරාදා දුරකථන ඇමතුමකදී නෙදර්ලන්ත සගයා වන කැස්පාර් වෙල්ඩ්කැම්ප්ගෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනොන් ද X සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කළ සටහනක මෙම ප්‍රචණ්ඩත්වය හෙළා දැක ඇත.
ඇම්ස්ටර්ඩෑම් හි ප්‍රධාන ක්‍රීඩාංගණය සහ ඒජැක්ස් හි ගෘහ ක්‍රීඩාංගණය වන යොහාන් ක්‍රයිෆ් ක්‍රීඩාංගණය ඉදිරිපිට සිදු වූ ගැටුම්වලින් අත්අඩංගුවට ගැනීම් හෝ තුවාල සිදුවීම් පිළිබඳ වහාම වාර්තා නොවිණි. අර්ධ කාලයේදී 3-0ක් ලෙස ඉදිරියෙන් සිටි ඒජැක්ස් කණ්ඩායම යුරෝපා ලීග් තරඟය 5-0ක් ලෙස ජයග්‍රහණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval