A-glitch-on-a-luxury-ship-traveling-to-Antarctica-passengers-on-a-hunger-strike

මගීන් 170 දෙනකු රැගෙන ඇන්ටාර්ටිකාව වෙත ගමන් කරමින් තිබූ  එස්.එච්. ඩයනා නමැති නෞකාවේ කාර්මික දෝෂයකින් පසු යමින් සිටි ගමන අවලංගු කිරීම නිසා නොසන්සුන්වූ සංචාරකයින් උපවාසයක් ආරම්භ කළ පුවතක් වාර්තාවේ.

පසුගිය නොවැම්බර් 13 වන දින දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට පිටත්ව දින 20ක ගමනක් තුළ එලිෆන්ට් දූපත, හෙරොයිනා දූපත, පෝලට් දූපත, බ්‍රවුන් බ්ලෆ්, ඩී'උර්විල් ස්මාරකය, යැන්කි වරාය සහ ඩිසැප්ෂන් දූපත හරහා යාමට නියමිතව තිබූ මෙම නෞකාව ඇන්ටාක්ටිකාවට ළඟා වීමටත් පෙර එය නැවත උතුරට හැරවීමට සිදුවිය. එන්ජිමේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් දකුණට යාම අසීරු වූ අතර, වසරක් පමණක් පැරණි මෙම නැව පැයට නාවික සැතපුම් 6ක (කිලෝමීටර 11) වේගයෙන් ආර්ජන්ටිනාවේ දකුණේ පිහිටි උෂුවායා වෙත ගමන් කළේය.

සංචාරය සඳහා යුරෝ 8,000 සිට 12,000 දක්වා මුදලක් ගෙවූ සංචාරකයින්, නාවික සමාගම ඔවුන් අතරමං කර ඇති බව පවසති. නැව අයත් ස්වාන් හෙලනික් සමාගම දරන ලද වියදම් සම්පූර්ණයෙන් ප්‍රතිපූරණය කිරීමට කැමති නැත. ඒ වෙනුවට,

ඔවුන් ගමන් වියදමින් 50%ක ප්‍රතිපූරණයක් හෝ අනාගත සංචාරයක් සඳහා 65%ක වට්ටමක් ලබා දීමට ඉදිරිපත්ව  ඇත.

බ්‍රිතාන්‍ය ද ටයිම්ස් පුවත්පතට මගීන්ගෙන් එක් අයෙකු කියා තිබුනේ, "ආරක්ෂක හේතූන් මත ඇන්ටාක්ටිකාවට නොයාමට ඔවුන් ගත් තීරණය නිවැරදියි, නමුත් ස්වාන් හෙලනික් ගැටලුව හැසිරවූ ආකාරය කෝපගන්වන සුලුයි," ලෙසිනි.
රුසියානු මගීන්ගෙන් කුඩා කණ්ඩායමක් තත්ත්වය පිළිබඳ විරෝධය පළ කරමින් උපවාස කිරීමට තරම් කෝපයට පත්ව සිටිති. ඔවුන්ගේ සම්පූර්ණ මුදල් ආපසු ගෙවීම ඉල්ලා සිටින බැනර් සාදා ප්‍රසිද්ධ කර ඇත.

රාත්‍රී 20ක ගමන සඳහා ඩොලර් 8,882 සිට 12,689 දක්වා මුදලක් ගෙවූ මගීහු, එන්ජිමේ ගැටලුව හේතුවෙන් සම්පූර්ණ පිරිවැය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ගැන ස්වාන් හෙලනික් නැව් සමාගම කෙරෙහි දැඩි කෝපයෙන් පසුවෙති.
බිස්නස් ඉන්සයිඩර් වාර්තා කළ පරිදි, ෆින්ලන්තයේ හෙල්සින්කි හි නිර්මාණය කරන ලද මෙම සුඛෝපභෝගී නැව අඩි 409ක් දිග වන අතර තට්ටු 9කින්, එළිමහන් පිහිනුම් තටාකයකින්, ස්පා මධ්‍යස්ථානයකින්, පුස්තකාලයකින් සහ විමර්ශන විද්‍යාගාරයකින් සමන්විත වේ.


කෙසේ වෙතත්, වසරක් පමණක් පැරණි නැවේ එන්ජිමේ ගැටලුවක් මතුවීමෙන් පසු, දකුණු ජෝර්ජියාවේ නැවතුම් කෙටි කිරීමට සහ ඇන්ටාක්ටිකාවට යන සම්පූර්ණ ගමන අවලංගු කිරීමට නැවේ කපිතාන්ට සිදු විය.

නමුත් ස්වාන් හෙලනික් හි ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩ්‍රියා සිටෝ තවමත් තම මතයේම සිටියි. "පැහැදිලිවම ඉතා කලකිරීමට පත්ව සිටින බොහෝ මගීන් අපගේ යෝජනාව පිළිගෙන තිබෙනවා. සමහරු දැනටමත් නව ගමනක් වෙන් කරගෙන ඇත." උපවාසය ඉක්මනින් අවසන් කිරීමට සිටෝ බලාපොරොත්තු වේ.