
දැනට බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින්, මසකට රුපියල් කෝටියකට වැඩි හෙරොයින් මත් කුඩු වෙෙළඳාමේ නිරත වූ 'තඹුත්තේගම හිච්චි' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක්,
රුපියල් පන්දහසක මිලකට සැකසූ හෙරොයින් මත් කුඩු කෑලි 78ක් සමඟ ඊයේ (23) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම, දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ තේකවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් කලක් බන්ධනාගාරගතව සිට පැමිණ ඇති සැකකාරිය යළිත් හෙරොයින් මත්කුඩු වෙෙළඳාමේ නිරත වන බවට ලද තොරතුරකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාරිය තඹුත්තේගම සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදාහරින තැනැත්තියක් වන බවත්, ගැනුම්කරුවෙකු හට ලබාදීම සඳහා රුපියල් 5000 බැගින් සැකසූ හෙරොයින් මත්කුඩු කෑලි 78ක් සමඟ අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය දිනකට රුපියල් ලක්ෂ තුනත්, හතරත් අතර මුදලක හෙරොයින් මත්කුඩු වෙෙළඳාමේ නිරත වන බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත්, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා එම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණයෙන් රැඳවුම් නියෝග ඉල්ලා සිටින බවද පොලිසිය පවසයි.
(අනුරාධපුර - සශිනි මධුෂානි)
Comments
Post a Comment
Your comment will be visible after approval