
ඩොලරයේ අගය අඩු වීම නිසා අමු තේ දලු කිලෝවකට ලබා දෙන මුදල සැලකිය යුතු මුදලකින් අඩු වී තිබෙන බවත්, එහෙත් පොහොර මිල කිසිදු මුදලකින් අඩු වී නොමැති බවත් ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.පොහොර මිලට සාපේක්ෂව අමු තේ දලු සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා ඇතැම් කුඩා තේ වතු හිමියන් මේ වන විට තේ වගාවෙන් ඉවත් වෙමින් සිටින බව එම සංගමයේ ලේකම් වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.අමු තේ දලු කිලෝවක මිල මේ වන විට රුපියල් එකසිය දහයත් රුපියල් එකසිය අසූවත් අතර මිලක පවතින බවත්, එහෙත් පසුගිය කාලයේදී තේ දලු කිලෝවක් සඳහා රුපියල් තුන්සියයකට ආසන්න මුදලක් ලැබුණු බවද කියා සිටියේය.
තේ වගාව සඳහා යොදන U 709 පොහොර කිලෝ 50ක මිල රුපියල් නවදහස් හයසියය ඉක්මවා ගොස් තිබෙන බවත්, ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව පොහොර මිලත් අඩු විය යුතු බවත්, දැනට පවතින මිලට පොහොර මිලදී ගෙන වගාවන්ට යෙදීමෙන් ගොවීන්ට කිසිදු ලාභයක් නොමැති බවද පැවසීය. තේ දලු නෙළන පිරිස්වලට කිලෝවක් සඳහා රුපියල් හැටක මුදලක් ගෙවිය යුතු බවත්, තේ දලු කිලෝවකට රුපියල් 110ක් මුදලක් ලැබුණහොත් ගොවියාට හිමිවන්නේ රුපියල් 50ක මුදලක් පමණක් බවද පැවසීය.
තේ දලු කිලෝවක නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන්ට රුපියල් 110ත් රුපියල් 130ත් අතර මුදලක් වැය වන බවත්, මේ අනුව ඇතැම් ගොවීන්ට මේ වන විට තේ වගාවෙන් පාඩු සිදුවන බවද පැවසීය.ලෝක වෙළෙඳ පොළ පොහොර මිලට අනුව මෙරට තුළදී පොහොර කිලෝ 50ක් රුපියල් පන්දහසකට ආසන්න මුදලකට අලෙවි කළ හැකි බවත්, මේ පිළිබඳව රජය කඩිනමින් අවධානය යොමු කළ යුතු බවද පැවසීය.
පොහොර සාධාරණ මිලකට ගොවීන්ට ලැබීමට නම් රජය මැදිහත් වී විවෘත ටෙන්ඩර් ක්‍රමය හරහා මෙරටට පොහොර ගෙන්වන පිරිස් තෝරාගත යුතු බවද සඳහන් කළේය.එසේ නොමැති වුවහොත් මෙරටට විදේශීය විනිමය උපයා දෙන තේ කර්මාන්තය අර්බුදයට ලක්වී හා රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වී යා හැකි බවද පැවසීය.
ඉන්දික හේවාවිතාරණ
Comments
Post a Comment
Your comment will be visible after approval