poke-sale-ban

අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝග සීඝ්‍රයෙන් පැතිර යන හෙයින් මුළුරටම අවදානම් කලාපයක් ලෙස නම් කරමින් සහ ඌරන් රෝග අවදානම් සතුන් ලෙස නම් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඌරන් මැරීම සහ ඌරු මස් විකිණීම ද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.


එම තහනම සහ අවදානම මාස තුනක කාලයක් සඳහා මුළු රටපුරාම ක්‍රියාත්මක බවද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය නිකුත් කළ එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.මේ අතර ඌරුමස් ආශ්‍රිත ආහාර විකිණීමද තහනම් කර තිබේ.තවද රෝග අවදානමට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිත කිරීම ඌරන් සජීවී සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම ප්‍රදර්ශනය සහ තරග පැවැත්වීම ද තහනම් කර ඇත.




මීට අමතරව මියගිය ඌරකුගේ මළකුණක් හෝ කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමකට ලක් වූ ද්‍රව්‍යයක් ජලය සම්බන්ධ කිසිදු ස්ථානයකට මුදා හැරීම සහ එවැනි මළ සිරුරක කොටස් වෙනත් සතුන් විසින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑමට ඉඩ සැලැස්වීමද තහනම් කර තිබේ.මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න කොතලාවල මහත්මිය සඳහන් කළේ ඌරු මස් විකිණීම තහනම් කර ඇති හෙයින් අද (30) සිට පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලවා එවැනි වෙළෙඳසල් වැටලීමට සහ මස් තොග අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.

 

නැවත දැනුම් දෙනතුරු මස් විකිණීම ගබඩා කිරීම සහ ප්‍රවාහනය තහනම් වන හෙයින් එවැනි ක්‍රියාවලින් වළකින ලෙස වෙළෙඳසල් හිමියන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
( අංජුල මහික වීරරත්න)