
අබුඩාබි නුවර සිට පැමිණි ගුවන් යානයක ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පලා ගිය බව කියන ගෘහ සේවිකාවක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් ඊයේ (29) දින පැය තුනක් වැනි කාලයක් තුළදී අත්අඩංගුවට ගනු ලැබුවාය.මෙම ගුවන් නියමුවා කොලොම්බියානු ජාතික 40 හැවිරිදි අයෙකි.සැකකාරිය විදේශයක ගෘහ සේවයේ යෙදුණු වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.
ඇය ඊයේ (29) උදේ 8.38 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියාය.මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව, සියලුම ගුවන් මගීන්, ගුවන් යානයෙන් බැස ගිය පසු, ගුවන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය ගුවන් යානයෙන් පිටතට පැමිණ නිෂ්කාශන කටයුතු නිමා කර, ගුවන් තොටු පොළෙන් පිටතට යෑමට සුදානම් වන විට, ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී ඇත.
ඉන්පසුව ඒ පිළිබඳ ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරවරිය දැනුවත් කිරීමෙන් පසු,
ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කර තිබේ. එහිදී මෙම ගුවන් යානයෙන් පළමුවෙන්ම බැසගත් කාන්තාවක, ගුවන් නියමුවාගේ ගමන් බෑගය රැගෙන, වහා වහා ගුවන් තෝටු පොළේ වෙනත් ස්ථානයකට ගොස්, බෑගය, ඇය සිය බඩු බාහිරාදිය රැගෙන යන ට්‍රොලි කරත්තයේම සඟවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී ඇත.
ඇය වහ වහා ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැගී සිය නිවෙස බලා පිටත්ව යන ආකාරය ද එහි සටහන් වී තිබේ.ඒ අනුව ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරවරිය මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට දන්වා, එම ත්‍රිරෝද රථයේ රියැදුරුගේද මග පෙන්වීම මත, වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ එම ගෘහ සේවිකාවගේ නිවෙසට ගොස්, ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොයා ගෙන ඇය අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් ගෘහ සේවිකාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
( ටී.කේ.ජී. කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval