
ෂෙඩ් හිමිකරුවන්ගෙන් තෙල් සංස්ථාවට හිමිවිය යුතු රුපියල් කෝටි 3500 (බිලියන 35) ක් වහාම අය කරගෙන එම මුදලින් ජනතාවට සහන දෙන්නයි දුන් අධිකරණ නියෝගය ප්‍රකාරව මුදල් කැපීම ආරම්භ කිරීමට තෙල් සංස්ථාවේ සියලුම කළමනාකරුවන් හා සභාපතිවරයා ගත් තීරණය පැය 24ක් ඇතුළත හකුළා ගැනීමට සිදුවී ඇත.
මෙම මුදල සංස්ථාවට අයකර ගතහොත් තෙල් බෙදුම්කරුවන් විසින් මැතිවරණ සමයේ තෙල් ඇනවුම් නොකර තෙල් හිඟයක් මවා පානු ඇතැයි අනුමාන කරමින් වහාම මෙම තීරණය හකුළා ගැනීමට කටයුතු කර ඇතැයි තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.
අධිකරණ නියෝගය නොතකා ජනාධිපතිවරණයෙන් පසු හෝ ඊට පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම මුදල බොල් ණය සේ කපා හැරීමට රහසිගත සාකච්ඡා සිදුවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව මගින් විදෙස් සමාගම් තුනකට පැවරූ ඉන්ධන පිරවුම් හල් 450 ම මෙම අයවිය යුතු හිඟ මුදල් අය නොකර ගැනීමටද තෙල් සංස්ථාව තීරණය කර ඇත. එසේ වුවහොත් අසමානව සැලකීම යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර මෙම මුදල ගෙවීම පැහැර හැරීමට බෙදුම්කරුවන් සූදානම් වන බවද හෙළි වී ඇත.
පිරවුම්හල්වලින් බහුතරයක් දේශපාලඥයන්ගේ ඥාතීන් හා පවුලේ අයගේ නමින් ඇති නිසා මෙම මුදල ගෙවීම පැහැර හැරීමට සැලසුම් ක්‍රියාත්මක කරන බවටද හෙළිව ඇත.
(තිස්ස රවීන්ද්‍ර පෙරේරා)
Comments
Post a Comment
Your comment will be visible after approval