
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත. මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙන ඇති අතර, ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිතව දන්වා ඇති බව කතානායකවරයා විසින් ප්‍රකාශ කර තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවට අමාත්‍ය විජිත හේරත් මහතා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සභා නියෝජිතයා ලෙස පත් කර ඇත. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරියද, නව පාර්ලිමේන්තුව රැස්වන තෙක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුය.
දැනට පවතින තත්ත්වය අනුව, ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දරනු ලබයි. සභාවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු මන්ත්‍රී කබීර් හෂීම්, හිටපු මන්ත්‍රී සාගර කාරියවසම් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් වන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය අනුලා විජේසුන්දර හා ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval