
රුපියල් කෝටි හතරක් පමණ වටිනා විස්කි සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ බව කියන ගුවන් මගීහු දෙදෙනෙක් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක සහ 55 හැවිරිදි පිරිමියකු බව ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු පැවැසීය.ඥාතීත්වයෙන් අක්කා සහ මල්ලී වන දෙදෙනා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත විදේශයන්ට ගොස් භාණ්ඩ ගෙනැවිත් දීමේ ව්‍යාපාරයක නිරත වී සිටි අය වෙති.
දෙදෙනා ඊයේ (26) උදෑසන 6.51ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ.දෙදෙනාගේ ගමන් මලු වල තිබී මෝටර් රථ අමතර කොටස්, චන්ද්‍රිකා රූපවාහිනී උපාංග, වැට් - 69 විස්කි බෝතල් 18ක්, ස්කොෂ් ලීඩර් විස්කි බෝතල් 29ක්, නීති විරෝධී ලෙස ආනයනය කළ විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් එසී බ්ලැක් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි තොගයක්, සැත්කම් පිහි 1,100ක්, ඉන්දීය කෝපි පැකට් 2,220ක්, රාත්‍රි ආලේපන පෙට්ටි 100ක් තිබී සොයා ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් රැගෙන ආ භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට දී ඇත.
(ටී.කේ.ජී. කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval