
සූරියවැව කපුකිනිස්සයායේදී සිය තුන් හැවිරිදි දරුවාට වායු රයිෆලයකින් වෙඩි තැබීමේ සිද්ධියට අදාළව දරුවාගේ මව සූරියවැව පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවටගෙන ඇත.
මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඩබ්ලිව්. වරුණි කෞෂල්‍යා නමැති 35 හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට පත් කාන්තාව හා ඇගේ සැමියා එක්ව මෙම සිදුවීම වූ ඉඩම ආසන්නයේ වගාවක් කරගෙන යන අතර පසුගිය 19 වන දින මෙම කාන්තාව හා තුන් හැවිරිදි දරුවා අසල පිහිටි ඉඩමට ගොස් තිබේ. එහිදී එම ඉඩමේ හිමිකරුට අයත් වායු රයිෆලය ඉඩමේ පොල් ගසකට හේත්තු කර තිබියදී මව විසින් එය රැගෙන දරුවා දෙසට එල්ල කර තිබේ. එහිදි වායු රයිෆලය ක්‍රියාත්මක වී දරුවාගේ මුහුණ දෙසට උණ්ඩයක් වැදී තුවාල වී තිබේ. පසුව දරුවාගේ පියා විසින් දරුවා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී හම්බන්තොට රෝහල් පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව සූරියවැව පොලිසියට කළ දැනුම් දීමකට අනුව විමර්ශන කටයුතු කළ පොලිසිය විසින් දරුවාගේ මව මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් කාන්තාව ඊයේ (21) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval