
මොරොන්තුඩුව ඛණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේදී යතුරුපැදියකින් යමින් සිටි 19 හැවිරිදි තරුණයකු ඊයේ (14) අලුයම බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි මොරොන්තුඩුව පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ, කොලොන්නාව සංගීත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි,
සහකාර සූපවේදියකු ලෙස රැකියාව කළ, මීපේ ආරච්චිගේ තෙව්නිජ දිල්මෙත් නමැති තරුණයෙකි.කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික ආහාර නිෂ්පාදන ආයතනයක සේවය කරන මියගිය තරුණයා පානදුර ප්‍රදේශයේ උපන්දින සාදයකට සහකාර සූපවේදියකු වශයෙන් සේවය ලබා දී රෑ බෝ වූ බැවින් නිවෙසට නොගොස් ප්‍රධාන සූපවේදියාගේ මොරොන්තුඩුව ගෝනදූව නිවෙස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.ප්‍රධාන සූපවේදියා තවත් කිහිප දෙනකු සමග මෝටර් රථයෙන් ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී මියගිය තරුණ සූපවේදියා යතුරුපැදියෙන් එය පිටුපසින් ධාවනය කර ඇති අතර, ඒ සමගම ඔහුට නින්ද යාම හේතුවෙන් යතුරුපැදිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස්, සිමෙන්තිවලින් තනන ලද බස් නැවතුමට කඩා වැදී, එහි ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.මෝටර් රථයේ පිටුපසින් විශාල ශබ්දයක් එහි ගමන් ගත් පුද්ගලයකුට ඇසී ඇති අතර, ඒ සමගම මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී ලේ ගලන තුවාල සහිතව වැටී සිටි තරුණයා ගෝනදුව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇතැයි පොලිසිය කියයි. තරුණ සහකාර සූපවේදියාගේ හිසට බරපතළ තුවාල සිදු වී තිබිණි. අනතුරින් යතුරුපැදියේ ඉදිරිපසට මෙන්ම බස් නැවතුමට දැඩි හානි සිදු වී ඇතැයි පොලිසිය කියයි.
සුමිත් පොතුපිටිය
Comments
Post a Comment
Your comment will be visible after approval