
රෙදි මැසීමේ යන්ත්‍රයකට අනාරක්ෂිත ලෙස විදුලිය ලබාගැනීමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලිසැර වැදී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල, දූව වත්ත පාර , 5 වෙනි පටු මඟ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන (2025 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි) නිශානි පියුමිකා වැන්රෝවන් සිසුවියයි.
මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශීක්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.
සිය මිත්තණිය භාරයේ හැදී වැඩුණු නිශානි නිවසට පැමිණි පසුව, අක්‍රීය තත්ත්වයේ තිබූ රෙදි මැසීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරා තිබේ.
ඒ මිත්තණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් යාබද කාමරයේ නිදාගෙන සිටි අවස්ථාවක ය.
සිසුවිය රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය සහ වයරය සම්බන්ධ විදුලි පේනුව කාමරයේ බිත්තියට සවිකර තිබූ කෙවෙනියට සම්බන්ධ කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇති බව පැවසෙයි.
අනතුරුව වයරයට සම්බන්ධ පේනුව කොටස කපා ඉවත් කර එමඟින් පාදාගත් වයර් කොටස් දෙක කෙවෙනිය තුළට ඇතුළු කර විදුලිය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සිසුවියට විදුලි සැර වැදී ඇති බව පැවසේ.
විදුලි සැර වැදීමත් සමගම ඇය කෑ ගැසූ ශබ්දය ඇසී එහි පැමිණි අසල්වාසී කාන්තාවක විසින් කාමරයේ වැටී සිටි සිසුවිය පිළියන්දල දිසා රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ඇය මියගොස් තිබේ.
ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ ,සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජි ජි අබේවංශ පොලිස් කොස්තාපල් 94382 කුමාර මහත්වරුන් පරීක්ෂණ පවත්වයි
Comments
Post a Comment
Your comment will be visible after approval