wijayadasa-apeal

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයේ කටයුතු කිරීමෙන් ජනාධිපති නීතිඥ විජයදාස – රාජපක්ෂ මහතා වළකාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය විසුරුවා හරින්නැයි ඉල්ලමින් විජයදාස රාජපක්ෂ මහතා ගොනුකර තිබූ ඇපෑල විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය ඊයේ (7) තීරණය කළේය.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයේ කටයුතු කිරීමෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා වළකාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය විසුරුවා හරින්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවූ අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා මෙවැනි ඉල්ලීමක් කළ යුත්තේ මුල් නියෝගය දුන් අධිකරණයට බව පෙන්වා දෙමින්,

එවැනි තත්වයක් තුළ මෙම පෙත්සම සලකා බැලීමේ අවශ්‍යතාවක් නැතැයි සඳහන් කරමින් පෙත්සම ඉවත දැමීය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වන ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මහත්වරුන් නම් කර ඇත.පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදී වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කරමින්, මෙවැනි ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත්, මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දෙමින්, පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම විභාගයට ගන්නැයි ඉල්ලමින් දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීය.පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය ද, ජනාධිපති නීතිඥවරුන් වන කුවේර ද සොයිසා, චන්දක ජයසූරිය සහ අමේද්‍ර රොද්‍රිගු යන මහත්වරු ද පෙනී සිටියහ.
රන්ජන් කටුගම්පොළ