vehicle-government-licence

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් දී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තා වේ. මෙම වාහන බලපත්‍රය දී තිබුණේ විදේශයෙන් වාහන ආනයනය තහනම් කිරීමට පෙරය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබාදුනහොත්, වැරැදි මතයක් සමාජගත විය හැකි හෙයින්, මුලින්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබා දීම සුදුසු බවට විවිධ පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.



එසේම, රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රයට සමාන වාහන බලපත්‍රයක් හෝ තමන්ට ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත. රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ලක්ෂ විසිපහකට ආසන්නය.වාහන ආනයනය තහනම් කිරීමත් සමග රජයේ බොහෝ විධායක නිලධාරීන් පිරිසකට වාහන බලපත්‍රය ළඟ තබාගෙන බලා සිටීමට සිදු වී ඇතැයි කියති. ඒ පිරිස අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක් වෙති.
  සුජිත් හේවාජුලිගේ