three-wheeler-charges-no-change

පෙට්‍රල් මිල අඩු කිරීමේදී ත්‍රිරෝද රථ භාවිත කරන ඔක්ටේන් 92 පෙටුල් මිල සැලකිය යුතු මුදලකින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන නිසා ජනතාවට සහන ලබා දීමට නොහැකි වී තිබෙන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කරයි.

ගෙවී ගිය කාලය පුරාම ඉන්ධන මිල අඩු කිරීමේදී ඉහළ ආදායම් ලබන පිරිස් භාවිත කරන සුපිරි වාහනවලට භාවිත කරන

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සැලකිය යුතු මුදලකින් අඩු කිරීමට කටයුතු කළ බවත් මෙවරත් එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර තිබෙන බවද පවසා සිටියේය.

එහෙත් ඔක්ටේන් 92 වර්ගයේ පෙටුල් ලීටරයක මිල අඩු කර තිබෙන්නේ රුපියල් තුනකින් පමණක් බවත් මගී ප්‍රවාහන සේවාවල නිරත වන කිසිදු ත්‍රිරෝද රථයක් ඔක්ටේන් 95 පෙට්‍රල් භාවිත නොකරන බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු කර ත්‍රිරෝද රථ නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරනු ලැබුවහොත් ජනතාවට සහන ලබා දීමට හැකි බවද සඳහන් කළේය.

පවතින තත්ත්වය තුළ පවා ත්‍රිරෝද රථ සේවාව නියාමනය කර ගාස්තු මීටරය අනිවාර්ය කර ජනතාවට සාධාරණ මගී ගාස්තුවක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන්ට හැකියාව තිබෙන බවත් එහෙත් ඒ සඳහාත් බලධාරින් කිසිදු උනන්දුවක් නොදක්වන බවද පැවසීය.
ඉන්දික හේවාවිතාරණ