
ජනතාවගෙන් රුපියල් කෝටි 3000කට අධික මුදල් බාරගනිමින් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනු කළැයි කියන “ඔන්මැක්ස් ඞී.ටී.” පෞද්ගලික මූල්‍ය ආයතනයේ තවත් ඉඩම් 31ක් පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා
තහනම් නියෝගයක් ඊයේ (02) නිකුත් කළේය. මීට පෙර අවස්ථාවක දී තහනම් කළ මීගමුව ප්‍රදේශයේ පිහිටි කෝටි ගණනක් වටිනා ඉඩමට අමතරව මෙලෙස පැවරීම හෝ අන්සතු කිරීම තහනම් කරන ලද්දේ කළුතර, මාතර,හම්බන්තොට, නුවරඑළිය, කුරුණෑගල, කොළඹ සහ කඩවත ඇතුළු ප්‍රදේශවල ඇති ඔන්මැක්ස් සමාගම සතු බව කියන රුපියල් කෝටි 100 කට අධික වටිනාකමින් යුත් ඉඩම් 31කි.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එසේ නියම කරමින් අදාළ ඉඩම් සම්බන්ධයෙන් තක්සේරු වාර්තා කැඳවීමට ද නියම කළ මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසිය අධිකරණට ඉදිරිපත් කළ ‘ඔන් මැක්ස්’ සමාගමේ ලේඛන රජයේ සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයාට යොමු කිරීමට ද නියම කළේය.පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී සිද්ධියේ සැකකරුවන් වන ඔන් මැක්ස් සභාපති මදුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් සෑම් බස්නායක, (අධිකරණය මගහැරීම නිසා රතු වරෙන්තු නිකුත් කර ඇත) ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දීප සහ ධනංජය ජයාන්, අධිකරණයේ පෙනී සිටි අතර ගයාන් චාමර වික්‍රමතිලක හා අස්ලානික් විලි නමැති ජෝජියානු ජාතික සැකකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.
පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ දී රහස් පොලිසියේ සැරයන් (10670) රුවන් දසනායක සහ කොස්තාපල් අනුරාධ කරුණු දක්වමින් සිද්ධියට අදාළව මේ වන විට පැමිණිලි 345ක් ලැබී ඇති බවත් මෙම සැකකරුවන්ට අමතරව තවත් සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති නිසා ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණයෙන් ඉල්ලීම් කරන්නේ යැයි කීහ.
සැකකාර අධ්‍යක්ෂවරයකුගේ භාරයේ තිබීය දී සොයාගත් ඔන් මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළ ලේඛන රජයේ සැක කටයුතු ලේඛන පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තා කැඳවීමට අවශ්‍ය යැයි කී රහස් පොලිස් නිලධාරීහු ඒ සඳහා අවසර ඉල්ලා සිටි අවස්ථාවේ දී අධිකරණය ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහි මුදල් ආයෝජනය කර අගතියට පත් තැන්පත් ත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකිදැයි විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු වන අනුජ ප්‍රේමරත්න සහ අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් තම සේවා දායකයන්ට අයත් බැංකු ගිණුම්, නිශ්චල හා චංචල දේපළ සියල්ල අධිකරණය විසින් තහනම් කර ඇති නිසා එම මුදල් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ද තම සේවාදායකයන්ට පනවා ඇති තහනම් ඉවත් කරන්නේ නම් මාස 06 ක් තුළ සියලු තැන්පතු මුදල් ආපසු ගෙවීමට හැකියාව ඇතැයිද පැවසූහ.
ඒ අවස්ථාවේ දී සැකකාර පාර්ශ්වය ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අගතියට පත් තැන්පත් කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ විධිමත් සැලැස්මක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන්නේය.එම සැලැස්ම ක්‍රියාත්මක කළ හැකි මට්ටමක ඇත්නම් මහ බැංකුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දැනට පනවා ඇති බැංකු ගිණුම් හා දේපළ සම්බන්ධ තහනම ඉවත් කිරීමට ඇති හැකියාව සොයා බලන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ජනාධිපති නීතිඥවරුන් වන අනුජ ප්‍රේමරත්න සහ අනුර මැද්දෙගොඩ යන මහත්වරු වැඩිදුරටත් කරුණු දක්වමින් තැන්පත්කරුවන්ගෙන් තම සේවාදායකයන්ට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔවුන්ට රහස් පොලිසියට වාර්තා කිරීමට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් පසුගිය නඩුවාරයක දී අධිකරණය ඉදිරිපිටදීම තම සේවාදායකයන්ට පහර දීමට ඇතැම් තැන්පත් කරුවන් උත්සාහ කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ද සිදුවූවේ යැයි කීහ.
වාර්තා කිරීම සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන අවස්ථාවේ දී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වල ප්‍රගතිය පැමිණිල්ල යළි කැඳවන ලබන 28 වැනිදා අධිකරණයට දැනුම් දීමට නියම කළේය.
රෝෂන් තුෂාර
Comments
Post a Comment
Your comment will be visible after approval