nmra-inissue

මාස 06ක කාලයක පරීක්ෂණයන්ට යටත් විය යුතු එන්නතක් මාස දෙකක කාලයක් තුළ නිෂ්පාදනයට අවසර දීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නීතියට පටහැනිව කටයුතු කර ඇතැයි නීතිඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා අභියාචනාධිකරණයට ඊයේ (14) දැනුම් දුන්නේය.නිර්වින්දන ඇතුළු වෙනත් රෝග සඳහා භාවිත කරන එන්නත් 08 ක් නිෂ්පාදනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය නීතියට පටහැනිව දුන් අනුමැතිය වළකාලන්නැයි ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනකු ගොනු කර ඇති පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිල් ශාන්ත සිරිමා මහතා එසේ දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ප්‍රණීතා වර්ණකුලසූරිය සහ ඩී.පී. බුද්ධරගේ මහත්ම මහත්මින් විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ  වග උත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.

නිර්වින්දන ඇතුළු වෙනත් රෝග සඳහා භාවිත වන එන්නත් අටක් මාස හයක පරීක්‍ෂණ කාලයට යටත් නොකර මාස දෙකක් තුළ නිෂ්පාදනයට අවසර දීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නීතියට පටහැනිව කටයුතු කර ඇතැයි සඳහන් කරමින් එම තීරණය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පවරා ඇති මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිල්ගාන්ත සිරිමාන්න මහතා කරුණු දක්වමින් මෙරටට ආනයනය කරන ඖෂධවල වගකීම් දරන්නේ ඖෂධ නියාමන අධිකාරිය බවත් මෙරට නිෂ්පාදනය කරන ඖෂධවල වගකීම දරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය බවත් පැවසීය.


මෙම පෙත්සමට පාදක වූ එන්නත් 08 අනුමැතිය සඳහා 2020 අගෝස්තු 08 වැනිදා යොමු කර ඇති බවත් එම එන්නත්වලට මාස දෙකක කාලයක් තුළ එනම් ඔක්තෝබර් 02 වැනිදා අනුමැතිය දී ඇති බවත් කී නීතීඥ නිල්ගාන්ත සිරිමාන්න මහතා එන්නත් සඳහා මාස දෙකක කාලයක් තුළ අනුමැතිය දීම නීතියට පටහැනි බවත් කීය.

මිනිස් ශරීරයට හානිදායක තත්වයක් ඇති විය හැකි මෙම වැරදි ක්‍රියාවන් සොයාබැලීමට අභියාචනාධිකරණයට පූර්ණ බලය ඇතැයි පෙන්වා දුන් නීතිඥ නිල්ගාන්ත සිරිමාන්න මහතා මෙම පෙත්සම විභාගයට ගන්නැයි ඉල්ලා සිටියේය.නියෝජ්‍ය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී  සිටිසොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත අනුව මාස හයක පරීක්‍ෂණ කාලයක් වලංගු වන්නේ වෙළෙඳපොළට නිකුත් කරනු ලබන ඖෂධ සඳහා පමණක් බවත් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට අවශ්‍ය බැවින් තමන්ට දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීමට එකඟව කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ට තමන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් මෙවැනි දේ නිසා ජනතාවගෙන් චෝදනා එල්ල විය හැක්කේ තම සංගමයේ සාමාජිකයින්ට බවත් කීය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 20  වැනිදා යළි කැඳවීමට නියම කළේය.
රන්ජන් කටුගම්පොල